සුසාන භූමියකට එහා ගිය බොරැල්ලේ කලාගාරය





ඝෝෂාවෙන් පිරුණු බොරැල්ලේ මංමාවත් කිහිපයකින් වටවුණු බොරැල්ල පොදු සුසාන භූමිය , සැබැවින්ම සුසාන භූමියකට එහා ගිය සුවිසල් කලාගාරයක් බඳුයි.මෙතෙක් ගමන් ගත් වෙහෙසකර දිවි මඟට නැවතුම තබමින් ප්‍රියයන් සමඟ එක්ව පැමිණෙන අවසන් පියවර කිහිපය රැඳෙන මේ භූමියට බොහෝදෙනා පැමිණෙන්නේ ශෝකය,සුසුම හදතුළ පුරවාගෙනයි.නමුත් කඳුළින් වැසී ගිය දෙනෙතින් අප දකින එම සේයාරුව සැබෑවටම නිවැරදිද?


                                     කාෂ්ටක කාර්‍යබහුල භූමියක රූක්ශ තුරු මුදුන්වලින් සිසිල වූ බොරැල්ල පොදු සුසාන භූමියේ අක්කර 48ක මනරම් බිම්කඩක ඇති ස්මාරක විමසීමේදී එය මුල්කාලය වෙන්වී ඇත්තේ එවකට රට පාලනය කළ බටහිර ජාතීන් සඳහා බව දැකගන්නට හැකිය.තම උපන් බිමෙන් බොහෝ ඈත නන්නාඳුනන රටක මිහිදන් කළ මිනිසුන් වෙනුවෙන් ඔවුන්ගේ සමීපතමයන් තමන්ට හැකි පමණ උසස් අයුරින් මේ ස්මාරක ගොඩනැගීමට උත්සාහ කළ බව පැහැදිලිය.

                                 සංවේදී වින්දනාත්මක සිතුවිලි ඇති කෙනෙකුගේ සිත්සතන් අවධි කරන නිර්මාණාත්මක බොහෝ දේ මෙහිදී කෙනෙකුට දැකගන්නට පුළුවනි.මුල් යුගයේ බොහෝ ස්මාරකවල ඇත්තේ ක්‍රිස්තියානි ආගමික ආභාසයකි.මරිය මාතාවන්ගේ ඇස්වල හා මුහුණේ ඇති ශෝකී ශාන්තී බව හා සංවේදී බව දේවදූතයන්ගේ පියාපත්වල සුකොමල බවත් සිතට ගෙනෙන්නේ සුවදායක හැඟීමකි.කිරිගරුඬින් නිර්මාණය කර ඇති මේ පැරණි නිර්මාණ මිනිස් සිරුරේ ඉතාම සියුම් ලක්ෂණ පවා අපූරුවට මතුකොට තිබෙනු දක්නට ලැබේ.


                                    එම ස්මාරකවල ඇසේ කලු ඉංගිරියාව මතුකර පෙන්වීමට ඔවුන් වෙහෙසකර උපක්‍රමයක් යොදා ගෙන ඇත.ඔවුන් ඇසේ කලු ඉංගිරියාව පෙනෙන ආකාරයට මදක් වක්‍රව හාරා ඊට අමතරව සිහින් කොක්කක් වැනි කොටසක් ඉදිරියට නෙරා ඇති ආකාරයට නිර්මාණය කර තිබේ.මෙවැනි සියුම් උපක්‍රම නිසා මෙම මිනිස් රූපවලින් දිස්වන්නේ අතිශය සජීවීබවකි.

                                   මෙහි සෑම තැනම විසිරී ඇත්තේ මතකයන්ය.මේ මතකයන් පුංචි ඉදිකිරීමක් බවට පත් කරන්නට ඔවුන් ගත් උත්සාහය හරි අපූරුයි.බොහෝ ස්මාරකවල සංකේතාත්මක භාවිතයන් නිර්මාණාත්මකව යොදාගෙන තිබෙනවා.දරුවන් දෙදෙනෙකුගෙන් යුත් පවුලක එක් කුඩා දරුවෙක් මිය ගිය බව කියා පෑමට පිපුණු මල් දෙකක් ඇති මල් ඉත්තක එක් මල් කැකුළක් බිමවැටී ඇති කිරිගරුඬ නිර්මාණයක් සිදු කරන ඔවුන් තවත් දැරියකගේ ස්මාරකයක් කුඩා දැරියක් දේවදූතයන් දෙදෙනෙක් රැගෙන පියාඹන ආකාරයකට නිර්මාණය කර තිබේ.සංගීතවේදියකුගේ ස්මාරකයෙන් පිළිබිඹු වන්නේ තතක් බිඳී ගිය වීනාවක රූපයකි.

                                       කලාගාරයක් යනු කලා නිර්මාණවල එකතුවකින් පිරුණු ස්ථානයක්.මෙහි ඇති පැරණි නිර්මාණ බොහොමයක් කලාත්මක ලක්ෂණවලින් පිරිපුන් නමුත් පසුකාලීනව නිර්මාණය වූ බොහෝ ස්මාරක විචිත්‍රවත් වුවත් කලාත්මක ලක්ෂණ හීන බවක් දක්වයි.ඇතැම් ඒවා ප්‍රමාණයෙන් දැවැන්ත නමුත් ඒවාගෙන් පිළිබිඹු වන්නේ මියගියවූවන්ගේ හා ජීවත්වන්නන්ගේ මාන්‍යය විනා වියෝවේ සංවේදනය නොවේ.ඉහළ රසඥතාවක් ඇති සංවේදී මිනිසකුට ජීවිතය පිළිබඳව කියා දීමට සමත් කලා නිර්මාණ බොහොමයක් ඒ අතර තවමත් ශේෂව පවතී.ඒ සංවේදීතාවයෙන් ඒ රසවින්දනයෙන් ඔබේ සිත පොහොසත් නම් සැබෑවටම ඔබ තවමත් මෙලොව පණ ගැහෙන ජීවයෙන් පිරිපුන් මිනිසෙකි.

කතාව මදූ ජයසිරි.

මෙම ලිපියේ කතෘ අයිතිය e-Ceylon.lk සතු වන අතර මෙහි සදහන් සියලු තොරතුරු කතානායක පුද්ගලයාගේ අනුදැනුම මත හා සත්‍ය තොරතුරු මත පදනම්ව නිර්මාණය කරන ලද්දකි. මෙම ලිපි කිසිදු අයුරකින් උපුටා ගැනීම හෝ වෙනත් නමකින් පලකිරීම සපුරා තහනම් වේ.

දිගටම අපගේ ලිපි කියවීමට හා අලුත්ම ලිපි පිලිබද තොරතුරු එසැනින් ලබා ගැනීමට අපිව Follow කරන්න, Like කරන්න, Share කරන්න, Subscribe කරන්න.

Facebook: https://www.facebook.com/eceylonmagazine

Twitter: https://twitter.com/eceylonlk

YouTube: https://www.youtube.com/channel/UCN6IdFvZo7iXywHzbfAwSVg

Follow Our Website: https://www.e-ceylon.lk/

ඔබටත් මෙවැනි ලිපියක් පලකරගැනීමට අවශ්‍ය නම් අමතන්න - 0774552060
















Post a Comment

Previous Post Next Post

POST ADS1

POST ADS 2