පුංචි සංකල්පයක් තමයි දවසක ලොකු ව්‍යාපාරයක් බවට පත්වෙන්නේ


වර්තමානයේ බොහෝ දෙනා එක් වෘත්තීයකයක සීමාවන්නේ නැහැ.තමන්ගේ දක්ෂතාවයන් හඳුනා ගෙන එම දක්ෂතාවලට වටිනාකම් එක් කරන පිරිස් බොහොමයි.අද අප සමඟ පිළිසඳරට එක්වන්නේ රේසින් කලාවෙන් හරි අපූරු හැඩතල මවන නවක ව්‍යවසාවිකාවක් වන glazeddazzle අත්කම් ව්‍යාපාරයේ හිමිකාරිනී අරවින්දි තන්ත්‍රිවත්තයි. 


ඉතින් අරවින්දි කොහොමද?

                             මේ දවස්වල නම් මගේ ව්‍යාපාර කටයුතු සහ රැකියා ක්ෂේත්‍රයේ කටයුතුත් එක්ක ටිකක් කාර්‍යබහුලයි.නමුත් සතුටින් හොඳින් ඉන්නවා. 



ඔබ ව්‍යාපාරයක් විදිහට මේ කලාව තෝර ගත්තේ ඇයි?

                             ඒක මෙහෙමයි.මුලින්ම මට අන්තර්ජාලය හරහා ස්වාභාවික මල්වලින් හදපු නිර්මාණ දකිනකොට ඒ ගැන ආසාවක් ඇති වුණා.ඒ ගැන හිතද්දි තමයි මේක හොඳ ව්‍යාපාරික අවස්ථාවක් කියන අදහස ආවේ.මම මේක පටන් ගත්තේ 2020 අවුරුද්දේ.ඒ වෙනකොට මේක පිටරටවල ගොඩක් කතාබහට ලක්වෙන ප්‍රසිද්ධ දෙයක් වුණාට ලංකාව ඇතුලේ එහෙම ලොකුවට ජනප්‍රියවී තිබුණේ නෑ.නිර්මාණකරුවන් හිටියෙත් සීමිත පිරිසක් පමණයි.ඉතිං මේක අලුත් දෙයක් නිසා ඒ වෙනකොට හොඳ වෙළෙඳපල ඉල්ලුමක් තිබුණා. 


මොකක්ද මේ රේසින් කලාව කියන්නේ?

                               ඇත්තටම රේසින් කියන්නේ කෙමිකල් එකක්.මේකේ වර්ග කිහිපයක් තිබෙනවා.UV රේසින් , එපොක්සි රේසින් වගේ වර්ග රැසක් තිබෙනවා.එපොක්සි රේසින්වලත් තවත් ප්‍රභේද තිබෙනවා.උදාහරණයක් විදිහට දැවවලට පාවිච්චි කරන රේසින් සහ  වෙනත් දේවල්වලට භාවිත කරන රේසින් වර්ග ආදී වශයෙන් විවිධ වර්ග තිබෙනවා.එපොක්සි රේසින් කොටස් 02ක් විදිහටයි මිලදි ගන්න පුලුවන්.මේ දෙක යම් අනුපාතයකට මිශ්‍ර කරන්න ඕනේ.එවිටයි නියමිත පරිදි නිර්මාණ සකසන්න පුලුවන්.ඒ මිශ්‍රණය සම්පූර්ණයෙන් වියළෙන්න සාමාන්‍යයෙන් පැය 12- 24 අතර කාලයක් ගතවෙනවා. UV රේසින් එක UV Light එක හරහා තමයි වේලෙන්නේ.ඒක විනාඩි 2ත් 5ත් අතර කාලයකින් වේලෙනවා.රේසින් මිශ්‍රණයේ වර්ගය අනුව වගේම නිර්මාණයේ ඝනකම මත එය වියළීමට ගතවන කාලය වෙනස් වෙනවා.අපට පුළුවන් මේකට විවිධ පාට වර්ග එකතු කරන්න.නමුත් මේක එක් රාමුවකට කොටු වුණ දෙයක් නෙවෙයි. නිර්මාණකරුවාගේ නිර්මාණශීලීත්වයත් එක්ක ඒක වෙනස් වෙනවා. 



රේසින්වලින් කරන්න පුළුවන් මොනවගේ නිර්මාණද?

                               ප්‍රධාන වශයෙන්  රේසින්වලින් කරාබු මාල වගේ ආභරණ සහ සිහිවටන වගේ දේවල් නිර්මාණය කරන්න පුළුවන්.වෙනස් විදිහට නිර්මාණශීලිව හිතනවා නම් මේ කලාව ඔස්සේ විවිධ  නිර්මාණයන් නිමවන්න හැකියාව තිබෙනවා. 


රේසින් කලාවේ විශේෂත්වය මොකක්ද?

                             මෙතන විශේෂතා කිහිපයක්ම තියනවා.එකක් තමයි මේවා විනිවිද පේන විදිහේ නිර්මාණයන් වීම.අනික මේ කලාව හරහා ස්වභාවික මල් වගේ දේවල් හැඩය හෝ වර්ණය වෙනස් නොවී අවුරුදු ගණනාවක් කල් තියාගන්නත් පුළුවන්. 



වෙනත් රැකියාවක නිරත වන අතරතුර මේ වගේ ව්‍යාපාරයක නිරතවීමේදී කාලය ගැටළුවක් වෙන්නේ නැද්ද?

                                   මගේ වෘත්තියට අමතරව කරන ව්‍යාපාරයක් නිසා කාලය සම්බන්ධ ගැටලුවක් නම් තියෙනවා.නමුත් පූර්ණ කාලීනව නියැළී සිටියත් රේසින් කලාවේදී ඒකට අවශ්‍ය කාලය අනිවාර්යෙන්ම ලබා දෙන්න ඕන නිසා අපිට ඉක්මනින් පාරිභෝගිකයෙකුට යමක් ලබා දෙන්න අමාරුයි.ලොකු නිර්මාණයක් කරනවා නම් ඒකට තට්ටු කිහිපයක මිශ්‍රණයක් යොදන්න වෙනවා.අනික  පාරිභෝගිකයාගේ ඇණවුමක් භාරගන්න තැන ඉඳලා ඒ නිර්මාණය පාරිභෝගිකයා අතට පත්වන තුරුම  ලොකු 

ක්‍රියාවලියක් තියෙනවා . 


රේසින් කලාවට තිබෙන වෙළෙඳපල සහ තරඟකාරිත්වය කොහොමද?

                             ඇත්තටම මේක පටන් ගත්ත කාලේ ලංකාවේ වෙළෙඳපළේ හොඳ ඉල්ලුමක් තිබුණා.ඒ වගේම සැපයුම්කරුවනුත් අඩුයි.නමුත් මේ වෙනකොට රේසින් නිර්මාණ කරන අය ගොඩක් බිහිවෙලා ඉන්නවා.ඒක එක්තරා විදිහකට හොඳ ප්‍රවණතාවක්.හැබැයි ඒකෙන් ගැනුම්කරුවන්ට වඩා සැපයුම්කරුවන් වැඩි තත්ත්වයක් දකින්න තියෙනවා.රේසින් නිර්මාණයක් සාමාන්‍යයෙන් අපිට නිතර අවශ්‍ය නොවන දෙයක් නිසා සැපයුම්කරුවන් වැඩි වුණාම ලොකු තරගකාරීත්වයක් වගේම  ඒකාකාරීත්වයක් ඇතිවෙනවා.ඒ වගේම මේකට විදේශ වෙළෙඳපළේ ලොකු ඉල්ලුමක් තියෙනවා.ඒකාකාරී බවින් මිදිලා වෙනස් නිර්මාණ කරන්න පුළුවන් නම් අපේ රටේ කෙනෙකුට වුණත් මේක හොඳ අවස්ථාවක්. 



ලංකාවේ තිබෙන ආර්ථික තත්වයත් සමඟ මේ වගේ ව්‍යාපාරයකින් ලාභයක් ලබන්න පුලුවන්ද?

                                අපිට ලාබය තක්සේරු කරන්න වෙන්නේ මේකට වැයවෙන පිරිවැයත් එක්ක.එතකොට දැන් තිබෙන ආර්ථිකයත් එක්ක රේසින්වලට අවශ්‍ය අමුද්‍රව්‍යවල මිලත් දෙගුණ තෙගුණ වෙලා තියෙනවා.ආනයන සීමා පැනවීමත් එක්ක සමහර අමුද්‍රව්‍ය සොයා ගැනීමත් අපහසුයි.ඒනිසා මිල ගණන්වල වෙනසක් අනිවාර්යයෙන්ම සිද්ධ වෙලා තියෙනවා.අපිට ගුණාත්මක අමුද්‍රව්‍ය අවම මිලකට හොයාගන්න පුළුවන් නම් එහෙමත් නැත්නම් අපිට විකුණුම් ප්‍රමාණය වැඩි කරගන්න පුළුවන් නම් හොඳ ලාභයක් ලබා ගන්න පුළුවන්.වෙනස් විදිහට හිතන කෙනෙක්ට නිර්මාණශීලීව නිර්මාණයන් කළොත් වෙළෙඳපල ජය ගන්න පුළුවන්. 


මෙම ද්‍රව්‍ය භාවිතය ශරීර සෞඛ්‍යයට  හානියක් නෙවෙයිද?

                                   මේ ද්‍රව්‍ය පාවිච්චි කරනකොට අනිවාර්යෙන්ම සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේදයක් පාවිච්චි කරන්න ඕන.මොකද අපි පරිහරණය කරන්නේ රසායනික ද්‍රව්‍යයක්.එතකොට ඒකේ යම්කිසි බලපෑමක් අනිවාර්යෙන්ම තියෙන්න පුළුවන්.ඒ නිසා අත්වැසුම් (රබර් / ඉටි) , වගේම පුළුවන් නම් මෙයට අදාල මුව ආවරණයක් පාවිච්චි කරන්න ඒක වඩාත් සුදුසුයි.එහෙම නැත්නම් මාස් එකක් , කන්නාඩි දෙකක් පැළඳීම කළ යුතුමයි.මොකද මේ ද්‍රව්‍ය සමේ තැවරීම ,  ආශ්වාස කිරීම , ඇස්වලට විසිවීම වගේ දේවල් ශරීර සෞඛ්‍යට එතරම් යහපත් වෙන්නේ නැහැ.මේ දේවල් දීර්ඝ කාලීනව සිදුවීම ආසාත්මිකතා , ශ්වසනාබාධ වගේම ඊටත් වඩා දරුණු ශරීර ආබාධ ඇති කරන්න හේතු වෙන්න පුළුවන්.ඒ නිසා ව්‍යාපාරය , කලාව වගේම තමන්ගේ ආරක්ෂාව ගැනත් හිතන්න මතක තියාගන්නම ඕන. 



මහා පරිමාණ ව්‍යාපාරිකයන් සමඟ ගනුදෙනු කරන්නේ කොහොමද?

                                  ඒක මෙහෙමයි. පලවෙනිදේ තමයි තමන්ට තියෙන්නේ සුළු පරිමාණ ව්‍යාපාරයක් වුනාට ඒක සුළු ව්‍යාපාරය කියලා හඳුන්වන එකම වැරදි. තමන්ට තිබෙන ව්‍යාපාරය කුමක් වුණත් ඒක තමයි හොඳම දේ කියලා අපි මුලින් හිතන්න ඕනේ.ඒකට ආකල්පමය වෙනසක් සිදුවිය යුතුයි. මහා පරිමාණ ව්‍යාපාරිකයන් එක්ක වෙළෙඳපලෙන් වැටෙනවට වඩා සමහර වෙලාවට මානසිකව වැටෙනවා.එහෙම වෙන්න එපා.තමන්ගේ දෙය ගුණාත්මක විදිහට උපරිම සාධාරණව ප්‍රමිතියෙන් යුතුව කරනවා නම් අනිවාර්යෙන්ම ඒක දියුණු වෙනවා.ඒකෙන් ගැටලුවක් ඇති වෙන්නේ නැහැ , වෙළෙඳපළ තරඟයක් ඇති වෙන්නෙ නැහැ කියල මම කියන්නේ නැහැ.නමුත් ඒක දිගටම කරගෙන ගියොත් අනිවාර්යයෙන්ම දවසක මහ ගහක් වෙන්න පුළුවන්. 


ආදායම් මාර්ගයක් නොමැතිව නිවෙස්වල සිටින තරුණ තරුණියන්ට කියන්න තියෙන්නේ මොකක්ද?

                                 ඇත්තටම මේක ව්‍යාපාරයකට වඩා ව්‍යවසායකත්වයක් කියලා හඳුන්වන්න තමයි මම කැමැති.මොකද වෙළෙඳපළ තිබෙන අවස්ථාවක් හඳුනාගෙන ඒකට යම්කිසි පිළියමක් විදිහට තමයි මේක නිර්මාණය වෙන්නේ.එතකොට අපිට අනිවාර්යෙන්ම අභියෝගයක් තියෙනවා.මොකද අපි දන්නේ නැහැ අපිට එන ගැටළු මොනවද කියලා.මේක යම්කිසි අවදානමක්.ඒ කොහොම වුණත් අපට යම්කිසි අදහසක් තියෙනවා නම් යම් ව්‍යාපාරයක් ගැන ඒක පුංචි දෙයක් වුණත් ඒ අදහස ක්‍රියාත්මක කරන්න.තියෙන සම්පත්වලින් , අවම පිරිවැයකින් , තමන්ට පුළුවන් විදිහට ආරම්භ කරන්න.ඕනෑම දෙයක පලවෙනි පියවර තබන එක තමයි වැදගත්.ඊට පස්සේ ඒක පවත්වාගෙන යන්න පුළුවන්. විශ්වාසයෙන් මේක ආරම්භ කරන්න. තමන්ට තියෙන හැකියාව සහ කැමැත්ත ව්‍යාපාරය බවට පත්කරගන්න පුළුවන් නම් අපිට ඒක එපා වෙන්නේ නැහැ.පුංචි සංකල්පයක් තමයි දවසක ලොකු ව්‍යාපාරයක් බවට පත් වෙන්නේ.ෆේස්බුක් කියන්නෙත් සංකල්පයක්.නමුත් අද වෙද්දී ඒක විශාල ව්‍යාපාරයක්.හැම දෙයක්ම එහෙම තමයි. 



යම්කිසි නිර්මාණයක් වෙනුවෙන් ඔබව සම්බන්ධ කරගන්නේ කොහොමද?

                               මම ව්‍යාපාරය පවත්වාගෙන යන්නේ සයිබර් අවකාශය මුල්කරගෙනයි.එතකොට මගේ glazed dazzle ෆේස්බුක් පිටුව, insragram පිටුව හෝ වට්ස්ඇප් ඔස්සේ සම්බන්ධ වෙන්න පුළුවන්.එහෙම නැත්නම් tik tok හරහා ඔබට රූප රාමු ඔස්සේම මගේ නිර්මාණ නරඹන්නත් පුළුවන්. 


සාකච්ඡාව - මධූ ජයසිරි

මෙම ලිපියේ කතෘ අයිතිය e-Ceylon.lk සතු වන අතර මෙහි සදහන් සියලු තොරතුරු කතානායක පුද්ගලයාගේ අනුදැනුම මත හා සත්‍ය තොරතුරු මත පදනම්ව නිර්මාණය කරන ලද්දකි. මෙම ලිපි කිසිදු අයුරකින් උපුටා ගැනීම හෝ වෙනත් නමකින් පලකිරීම සපුරා තහනම් වේ.

දිගටම අපගේ ලිපි කියවීමට හා අලුත්ම ලිපි පිලිබද තොරතුරු එසැනින් ලබා ගැනීමට අපිව Follow කරන්න, Like කරන්න, Share කරන්න, Subscribe කරන්න.

Facebook: https://www.facebook.com/eceylonmagazine

Twitter: https://twitter.com/eceylonlk

YouTube: https://www.youtube.com/channel/UCN6IdFvZo7iXywHzbfAwSVg

Follow Our Website: https://www.e-ceylon.lk/

ඔබටත් මෙවැනි ලිපියක් පලකරගැනීමට අවශ්‍ය නම් අමතන්න - 0774552060









Post a Comment

Previous Post Next Post

POST ADS1

POST ADS 2