සතයක්වත් නොගෙන විස්මිත කැටයම් මවන අපේ කාලයේ නිර්මාණකරුවා



    


ශ්‍රී ලංකා කාර්මික මණ්ඩලයේ රියදුරකු ලෙස සේවය කළ එච්.ඒ.ප්‍රේමතිලක මහතා ඉඳුරුගල්ල ප්‍රදේශයේ පදිංචි තම සහජ හැකියාවෙන් විස්මිත කැටයම් මවනා අති දක්ෂ කැටයම් ශිල්පියෙකි.නවීන පන්නයේ වාහන , මුදල් පසුපස හඹා යන සමාජයක ලක්ෂ කෝටි ගණනින් වටිනාකම් සටහන් වන නිර්මාණයන් කිසිඳු අය කිරීමකින් තොරව සිදු කරන ඔහුට පාපැදියක්වත් නොමැත.ජංගම දුරකතනයක් පවා භාවිත නොකරන මේ සරල  මිනිසාගේ  නිර්මාණ අතර කැපී පෙනෙන නිර්මාණයක් ලෙස ඉඳුරුගල්ල විහාරයේ වාහල්කඩ මණ්ඩපය සහ ශ්‍රී පාදස්ථානයේ දොලොස්මහා පහනේ මණ්ඩපය පෙන්වා දිය හැකිය.

ඉඳුරුගල්ල විහාරස්ථානයේ වාහල්කඩ මණ්ඩපය දැව කැටයම් කුලුණු 04ක් මත රැඳි පෙති උළු සෙවිළි කළ පියස්සකින් යුක්ත විවෘත මණ්ඩපයකි.කුළුණුවල පේකඩ හා පියස්සේ බාල්කද පුරාණ සිංහල කැටයම් මෝස්තර වන ලියවැල, හංසපූට්ටුව, නාගදරණ, අරිම්බුව, ගල්බිංදුව ආදී කැටයම් රාශියකින් අලංකාර කර තිබේ.මෙහි සම්පූර්ණ නිර්මාණය පුරාම කැටයම් 470ක් පමණ තිබෙන අතර එකම කැටයම කිසිම අවස්ථාවක තවත් ස්ථානයක යොදා නොමැත.අත්උදව්වට අයෙකු පවා නොමැතිව 2004 වසරේ ආරම්භ කළ මෙම නිර්මාණය දිනපතා වැඩ කිරීමෙන් වසර දෙකකට පසුව අවසන් කරන්නේ හැකියාවට නොදෙවෙනි ඔහුගේ කැපවීමද මැනවින් ප්‍රකට කරමිනි.

මේ අතර අන්තර්ජාලය තුළ පළවන ප්‍රේමතිලක මහතාගේ ඉඳුරුගල්ල විහාරස්ථානයේ වාහල්කඩේ ඡායාරූපයක් හේතුවෙන් ඔහුට ශ්‍රීපාදස්ථානයේ දොලොස්මහේ පහනේ මණ්ඩපය ඉදිකිරීමට ආරාධනා ලැබේ. අඟල් 10×10 කොස් කඳන් යොදා ගෙන නිර්මාණය කළ මෙයට එකඳු යකඩ ඇණයක්වත් භාවිත කර නොමැත .කලු ගල් කුළුණු 04ක් මත ගොඩනැගුණු මෙහි මණ්ඩපයේ එක් මඩොල් කුරුපාවකින් පරාල 32ක් එකට සම්බන්ධ කොට තිබෙනවා.

මේ වනවිට ලංකාව පුරා විහාරස්ථාන 20ට අධික සංඛ්‍යාවක විවිධ කැටයම්,දාගැබ් ආදිය නිර්මාණය කර ඇති මොහු මේ සෑම නිර්මාණයක් සඳහාම තවමත් පැරණි අමුද්‍රව්‍ය භාවිත කිරීමත් විශේෂත්වයකි.බොහෝදෙනෙක් මෙවන් නිර්මාණ සඳහා වර්තමානයේ පොටි වර්ග යොදා ගත්තත් ප්‍රේමතිලක මහතා තවමත් පුරාණයේ යොදාගත් හුණු,දිවුල්ලාටු,ගල්කුඩු ආදී බදාම  මිශ්‍රණයක් භාවිත කිරීමත් සුවිශේෂීය. මී පැණි වෙනුවට සිමෙන්ති ස්වල්පයක් යොදා ගන්නා ඔහු ගල් කුඩු සාදා ගන්නේ තිරිවානා ගල් අඹරා හලා ගැනීමෙනුයි. හැදෑරීමකින් තොරව තම සහජයෙන් ලැබූ හැකියාවෙන් විස්කම් පාන මොහුට 2014 වසරේ සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව විසින්   කලාභූෂණ රාජ්‍ය සම්මානයත්, 2021 වසරේදී කලා අභිමාණී කීර්ති ශ්‍රී දේශබන්දු ලංකාපුත්‍ර නාමයත් පිරිනමා තිබේ.

තම දැනුම, හැකියාව ආදී සියල්ලක්ම මුදලට විකිණෙන සමාජයක ලක්ෂ කෝටි ගණනින් මුදල් ලබාගත හැකිව තිබියදී පවා කලාව මොණර කොළයට වහල් නොකොට ඉන් අනාගත පරපුර වෙනුවෙන් තම හැකියාවන් විදහා දක්වන ප්‍රේමතිලක වැනි මෙවන් අමිල පුද්ගලයන් සැබවින්ම අප රටට මහඟු සම්පතකි.

කතාව මදූ ජයසිරි.

මෙම ලිපියේ කතෘ අයිතිය e-Ceylon.lk සතු වන අතර මෙහි සදහන් සියලු තොරතුරු කතානායක පුද්ගලයාගේ අනුදැනුම මත හා සත්‍ය තොරතුරු මත පදනම්ව නිර්මාණය කරන ලද්දකි. මෙම ලිපි කිසිදු අයුරකින් උපුටා ගැනීම හෝ වෙනත් නමකින් පලකිරීම සපුරා තහනම් වේ.

දිගටම අපගේ ලිපි කියවීමට හා අලුත්ම ලිපි පිලිබද තොරතුරු එසැනින් ලබා ගැනීමට අපිව Follow කරන්න, Like කරන්න, Share කරන්න, Subscribe කරන්න.

Facebook: https://www.facebook.com/eceylonmagazine

Twitter: https://twitter.com/eceylonlk

YouTube: https://www.youtube.com/channel/UCN6IdFvZo7iXywHzbfAwSVg

Follow Our Website: https://www.e-ceylon.lk/

ඔබටත් මෙවැනි ලිපියක් පලකරගැනීමට අවශ්‍ය නම් අමතන්න - 0774552060






























Post a Comment

Previous Post Next Post

POST ADS1

POST ADS 2