සෙන්කඩගල රාජධානියේ හුස්ම පොද

 


නුවර කිව්ව ගමන්ම කොයිකාටත් මතක් වෙන්නේ දළදා මාලිගාව , පේරාදෙණිය මල්වත්ත කියන ස්ථාන දෙක වුණත් මේ මනරම් භූමියේදී අපට මගහැරෙන තවත් නැරඹීය යුතු ස්ථාන කිහිපයක්ම තිබෙනවා.බෞද්ධ ජනතාවගේ මුදුන්මල්කඩ ලෙස සැලකෙන දළදා වහන්සේ වැඩ සිටින මේ පින්වන්ත භූමිය තුළ අපට මගහැරෙන නැරඹිය යුතු තවත් ස්ථාන බොහොමයි.

                                 මහනුවර රාජධානියේ හුස්ම පොද ලෙසින් හැඳින්විය හැකි ශ්‍රී දළදා මාලිගාවට පිටුපසින් පිහිටා තිබෙන " රාජකීය වන අරණ " නමින් හැඳින්වෙන " උඩවත්ත කැලය " සැබැවින්ම විඩා නිවාලන මනරම් සොබාදම් පියසකි.අතීතයේ අක්කර දහස් ගණනාවක වපසරියක විසිරී පැතිරුණු මෙම සුන්දර වනපෙත වර්තමානය වනවිට අක්කර 257ක භූමිභාගයකට සීමාවී තිබේ.

                                අතීතයේ ජනතාවට සම්පූර්ණයෙන්ම තහනම් වුණ උඩවාසලවත්ත රජුට , මෙහෙසියන්ට සහ රාජකීයන්ට පමණක් සොබා සෞන්දර්ය විඳ ගැනීමට වෙන් විය.මෙම වනය තුළ එකල රාජකීයන්ට දිය නෑමට සහ දියකෙළියේ යෙදීමට ඉදිකල " රජ පොකුණ " නමින් හැඳින්වෙන රාජකීය පොකුණ තවමත් දක්නට තිබීම විශේෂත්වයක්.මේ හරහා රජ මාලිගයට රහස් උමං මාර්ගයක් පවා ඉදිකර තිබෙන බව අතීත වාර්තාවල සඳහන් වනවා.ශ්‍රී වික්‍රම රාජසිංහ රජුගේ වස්තුව සඟවා ඇතැයි විශ්වාසයක් පවතින , වර්තමානයේ පවා දක්නට ලැබෙන මෙම පොකුනෙන් වසරකට වරක් රන් සෙම්බුවක් මතුවන බවටත් එය ලබා ගැනීමට උත්සාහ දරන පුද්ගලයන් පොකුණු දියටම බිලිවන බවත් පැවසෙනවා.එකල අලි ඇතුන් සඳහා ආහාර සම්පාදනය කිරීමට යොදාගත් බව පැවසෙන මෙම වන අරණ පෘතුගීසි , ඉංග්‍රීසි සහ ලන්දේසි ආදී විජාතික ආක්‍රමණවලදී සෙංකඩගලපුර මාලිගයේ විසූ රජවරුන් ආරක්ෂිත ස්ථාන කරා පලා යාමට ද උපයෝගී කරගත් බව සැලකෙනවා.ඉංග්‍රීසින් විසින් ප්‍රකාශයට පත් කරන ලද ප්‍රථම රක්ෂිතය ලෙස වාර්තා පොතට එක් වෙමින් දිවයිනේ අවසන් රාජධානිය වන මහනුවර රාජධානිය තුළ පවතින මෙම සුන්දර වන අරණ 1897 වසරේදී බ්‍රිතාන්‍ය ජාතිකයන් විසින් රක්ෂිත වනාන්තරයක් ලෙස ප්‍රකාශයට පත් කෙරෙනවා.පසුව මෙය 1938දී වනජීවි අභය භූමියක් ලෙසද නම් කෙරෙනවා.

                                 තෙත් කලාපීය වනාන්තර ලක්ෂණ විදහාපාන මෙම වනය ජෛව විවිධත්වයෙන් ඉතාමත් ඉහළ කලාපයක් ලෙස සැලකෙනවා.වසර දහස් ගණනක් පැරණි තුරුලතාවලින් සමන්විත මෙම වන අරණ මනාව හඳුනාගත හැකිවූ තුරු වියනකින් සහ උප වියනකින් යුතු වුවත් යටිවියන් ස්තරයක් නම් නොමැති තරම්ය.නුග ,  මොර , සපු , කිතුල් , දුරියන් , මදටිය , කොස් , පිහිඹිය , කුරුඳු , වල්දෙල් වැනි ශාක මෙන්ම වෙසක් ඕකිඩ් වැනි දුර්ලභ ශාක විශේෂයන් සහ වල්සාම්බ්‍රානි වැනි ආක්‍රමණික ශාක ද මෙහි දක්නට ලැබෙනවා.උඩවත්ත කැලය තුළ ශාක විශේෂ 405ක් පමණ හමුවී ඇති බවත් ඒ අතර ලංකාවට ආවේණික ශාක 100 ක් පමණ දක්නට ලැබෙන බවත් සඳහන් වනවා.කෙසේවෙතත් මේවනවිට මෙම වල්සාම්බ්‍රානි නම් ආක්‍රමණික ශාකය උඩවත්ත වනාන්තරය තම ග්‍රහනයට නතු කරගෙන ඇති ආකාරයක් දක්නට ලැබෙන අතර එම ශාකය ඉදිරියේදී ඉවත් කිරීමට කටයුතු සූදානම් කරමින් සිටින බවත් නිළධාරීන් පවසා සිටියා.මෙම කැලයේ දක්නට ඇති ශාක අතර නා ශාකය ප්‍රමුඛ වේ.නා ශාකය බහුල ප්‍රදේශය "  නා වනය " නමින් හඳුන්වයි.වන අරණ තුළ දැකිය හැකි ඉතාමත් සුවිශේෂී ශාක විශේෂයක් ලෙස වසර 200 - 300ක් පමණ ඉතිහාසයකට හිමිකම් කියන යෝධ පුස්වැල සඳහන් කළ හැකියි.

                                 ශාක විශේෂවලට පමණක් සීමා නොවන උඩවත්ත වන අරණ පක්ෂීන්ගේද රජදහනක්ම වනවා.අලු කොබෙයියා , කහ කුරුල්ලා , සර්ප උකුස්සා , අළු ගිරවා , සැළලිහිණියා නීලකොබෙයියා ආදී ආවේණික , වඳවීයන සහ දුර්ලභ යන කාණ්ඩවල පක්ෂීන් 79ක් පමණ මෙහි දක්නට ලැබෙනවා.එමෙන්ම ඉත්තෑවා , වන ඌරා , හඳුන් දිවියා , ඕලු මුවා , මීමින්නා , කබල්ලෑවා , ඉත්තෑවා හාවා , වඳුරා , දඬුලේනා ආදී සත්ත්ව විශේෂ රාශියක් සුලභව දක්නට ලැබෙන අතර ක්ශීරපායී විශේෂ 12ක් පමණ මෙහි ජීවත් වනවා.මුදු කරවලා , පිඹුරා , නයා ,  කටකලුවා ආදී සර්ප විශේෂ 32ක් , සමනල් විශේෂ 75ක් , ඉතාම දුර්ලභ අංකටුස්සා ඇතුළු කටුසු වර්ග 04ක් මෙම වන අරණ තම වාසභූමිය කොට ගෙන සිටිනවා.

                                 වන අරණේ සුන්දරත්වය , සිසිලස විඳගන්නා අතරම මෙහි ඇති තවත් නැරඹීය යුතු වටිනා ස්ථාන රාශියක්ම තිබෙනවා.ඒ අතර දිවුල්වැව කොටසේ කඳු මුදුනෙහි පිහිටි රජවරුන් ඇතුළු රාජකීයයන් නගර සිරි නැරඹීම සහ වෙහෙස නිවා ගැනීමට පරිහරණය කළ කිරිගරුඬ අසුන , ශ්‍රී දළදා තපෝවන ආරණ්‍ය , සෙංකණ්ඩ ලෙන , ගැරිසන් සොහොන , සේනානායක ආරණ්‍ය  , චිත්ත විශුද්ධි ලෙන , මෛත්‍රී ලෙන , ජමන් විහාරය ආදී ස්ථාන ප්‍රධාන වේ.

                                   මුලු මහත් ලෝකයටම හුස්ම පොද , දියබිඳ සපයමින් මිනිසා ඇතුළු සියළු සතුන්ගේ ප්‍රාණය සුරකින උඩවාසලවත්ත වන අරණ ඇතුළු සියළු වනසම්පත් සේම සියලුම ජීවීන් පනසේ සුරකිමින් මෙවන් වටිනා උරුමයන් රැක ගැනීමට එකාවන්ව එක්ව රොද බැඳීම ඔබ අපගේ පැවත්ම සුරක්ෂිත කිරීමට නිසැකවම උපකාර වනු ඇත. 


සාකච්ඡාව - මධූ ජයසිරි

මෙම ලිපියේ කතෘ අයිතිය e-Ceylon.lk සතු වන අතර මෙහි සදහන් සියලු තොරතුරු කතානායක පුද්ගලයාගේ අනුදැනුම මත හා සත්‍ය තොරතුරු මත පදනම්ව නිර්මාණය කරන ලද්දකි. මෙම ලිපි කිසිදු අයුරකින් උපුටා ගැනීම හෝ වෙනත් නමකින් පලකිරීම සපුරා තහනම් වේ.

දිගටම අපගේ ලිපි කියවීමට හා අලුත්ම ලිපි පිලිබද තොරතුරු එසැනින් ලබා ගැනීමට අපිව Follow කරන්න, Like කරන්න, Share කරන්න, Subscribe කරන්න.

Facebook: https://www.facebook.com/eceylonmagazine

Twitter: https://twitter.com/eceylonlk

YouTube: https://www.youtube.com/channel/UCN6IdFvZo7iXywHzbfAwSVg

Follow Our Website: https://www.e-ceylon.lk/

ඔබටත් මෙවැනි ලිපියක් පලකරගැනීමට අවශ්‍ය නම් අමතන්න - 0774552060

( ඡායාරූප අන්තර්ජාලය ඇසුරිනි )










Post a Comment

Previous Post Next Post

POST ADS1

POST ADS 2