අපේ සතුටට බිලිවන අහිංසක ජීවිත

 


සූර්යයා මීන රාශියේ සිට මේශ රාශියට සංක්‍රමණය වීම ශ්‍රී ලාංකික අපට බොහොම වැදගත් අවස්ථාවක්.නව සඳ බැලීමේ සිට පැළ සිටුවීම දක්වා නොයෙක්  චාරිත්‍ර -වාරිත්‍රයන් සමඟ සිදු කෙරෙන මේ ගණුදෙනුව සැබැවින්ම හරිම අපූරුයි.ඉදිරි කාලය තුළ තරහ-මරහ සියල්ල අමතක කොට කාර්‍යබහුල ජීවිතයෙන් කෙටි ඉසිඹුවක් ගෙන තම තමන්ගේ ගම්බිම් කරා සංක්‍රමණය වන සියල්ලන් සතුට සාමය රොද බැඳ ගනිමින් විනෝදයෙන් ගත කරන කාලවකවානුවක් උදා වීමට නියමිතව පවතිනවා.

                                 කොවුල් නාදයත් සමඟ එක් වුණු ගෙයක් ගෙයක් පාසා පැතිරෙන කැවුම් , කොකිස් සුවඳ  සොම්නස පිරුණු වසන්ත කාලයක්   ලඟ ලඟම එන බවට පණිවිඩය රැගෙන යන්නේ  පුංචි පැටවුන්ගෙත් හිසේ මල් පුබුදමින්. මේ හැම දේකින්ම සතුටු වන අපට අමතක නොවෙනම දෙයක් තමයි ගිනිකෙළි කියන්නෙ . සමහර විට මේ වනවිට බොහෝදෙනාගේ නිවෙස්වලට මෙය පැමිණ තිබිය හැකියි.එසේ නැතහොත් ඉදිරි කාලය තුළ නිසැකවම කැන්දාගෙන එන රතිඤ්ඤා සැබැවින්ම අපේ සිතේ සතුට තවත් වැඩි කරනවා.නැකත් වේලාවට සතර දිගින් එක සීරුවට ඇසෙන මේ රතිඤ්ඤා නාදය අපට සතුටක් ආශ්වාදයක් රැගෙන ආවත් සැම දෙනාටම එය එසේම දැයි මෙවර අලුත් අවුරුද්දේදී සිතා බැලීම  වටිනවා.

                                අවුරුදු පණිවිඩය මුලින්ම රැගෙන එන කොවුලාගේ සිට ගෙදර ඇති කරන සුරතලා දක්වාම අපගේ සතුට බලපෑම් ඇති කරනවා.මිනිසාට සාපේක්ෂව සුනඛයන් ආදී සතුන්ගේ ශ්‍රවණ සංවේදීතාවය , ශ්‍රවණ පරාසය හෙවත් කන් ඇසීමේ හැකියාව ඉතාමත් තීව්‍ර මට්ටමක පවතිනවා.එම නිසාම අපට සාමාන්‍යය ආකාරයෙන් ඇසෙන ශබ්ද  ඔවුන්ට ඉතාමත් විශාල , දරාගත නොහැකි මහා ශබ්දයන් ලෙස ඇසෙනවා.රතිඤ්ඤා හඬට බියෙන් තැති ගන්නා , මුලු ගැන්වෙන සතුන් සේම අධික ශබ්දය දරාගත නොහැකිව ඉබාගාතේ දිවයාම නිසා විවිධ අනතුරුවලට පත්වන සතුන්ද මේ සමය තුළ බොහොමයි.දසතින් එකසේ රතිඤ්ඤා හඬ දැල්වෙද්දී මේ අහිංසක සතුන් කුමන ස්ථානයක නම් සැඟවෙන්නද?

                                මෙම භයානක ශබ්දයන් බිය , තැතිගැන්මට අමතරව ඔවුන්ට ශ්‍රවණ ආබාධ සේම මරණය පවා කැඳවන අවස්ථාවන් එමටයි.එක් රතිඤ්ඤා වැලකින් කුහුඹුවන් ආදී කුඩා කෘමීන් ලක්ෂ ගණනක් මිය යන බව ඇතැම් විට ඔබ නොදන්නවා විය හැකියි.සුලු මොහොතක විනෝදයක් වෙනුවෙන් අහිංසක කුරුල්ලකුගේ , සුනඛයකුගේ කන් ඇසීම ජීවිත කාලයටම අහිමි කරන්නට , බිත්තර තුළ මෙලොව එළිය නොදුටු කුඩා පැටවුන්ගේ ජීවත්වීමේ අයිතිය උදුරා ගැනීම කිසිසේත්ම උචිත නොවේ.

                                   සතුන්ට සිදුවන හානිවලට අමතරව මෙම නිෂ්පාදනවල අඩංගු රසායනික ද්‍රව්‍ය , ප්‍රමිතිය ආදිය පිළිබඳව කිසිඳු නියාමනයක් නොමැති බවත් අප සිහියේ තබා ගත යුතුමයි.ශබ්දය වැඩි කිරීමට , අනේක විද වර්ණයන්ගෙන් යුතු දුම් පිටවීමට නිෂ්පාදකයන් කටයුතු කරන අතරතුර ඉන් වාතාශ්‍රයට එක්වන විෂ , ඒවා හානිකර බව ආදිය  ඔවුන්ට මෙන්ම අපටද අමතකව ගොස් තිබෙනවා.

                                  චාරිත්‍ර - වාරිත්‍රවලට අනුව සැමදෙනා එක්ව සතුටින් නව අවුරුද්ද සැමරීම සැබැවින්ම කළ යුතුයි.නමුත් අපගේ සහ අපගේ දරුවන්ගේ මොහොතක විනෝදාස්වාදය වෙනුවෙන් තවත් ජීවිතයක් බිලි ගන්නවාද අඳුරු කරනවාද යන්න තීරණය කිරීමට මෙය සුදුසුම කාලයයි.එම නිසා මෙම උත්සව සමය තුළ රතිඤ්ඤා දැල්වීමේදී ඒවායේ අධික ශබ්දය සහ දැල්වෙන කාලය වටහා ගෙන නිසි කලමනාකරණයකින් යුක්තව අවබෝධයෙන් කටයුතු කිරීම තුළින් ඔබට ඔබේ සුරතලාසේම තවත් බොහෝ අහිංසක සතුන්ගේ ජීවිත සුවපත් කිරීමට අවස්ථාව උදාවනු නියතයි. 


සාකච්ඡාව - මධූ ජයසිරි

මෙම ලිපියේ කතෘ අයිතිය e-Ceylon.lk සතු වන අතර මෙහි සදහන් සියලු තොරතුරු කතානායක පුද්ගලයාගේ අනුදැනුම මත හා සත්‍ය තොරතුරු මත පදනම්ව නිර්මාණය කරන ලද්දකි. මෙම ලිපි කිසිදු අයුරකින් උපුටා ගැනීම හෝ වෙනත් නමකින් පලකිරීම සපුරා තහනම් වේ.

දිගටම අපගේ ලිපි කියවීමට හා අලුත්ම ලිපි පිලිබද තොරතුරු එසැනින් ලබා ගැනීමට අපිව Follow කරන්න, Like කරන්න, Share කරන්න, Subscribe කරන්න.

Facebook: https://www.facebook.com/eceylonmagazine

Twitter: https://twitter.com/eceylonlk

YouTube: https://www.youtube.com/channel/UCN6IdFvZo7iXywHzbfAwSVg

Follow Our Website: https://www.e-ceylon.lk/

ඔබටත් මෙවැනි ලිපියක් පලකරගැනීමට අවශ්‍ය නම් අමතන්න - 0774552060





Post a Comment

Previous Post Next Post

POST ADS1

POST ADS 2