තමන් ධාර්මිකව වෙහෙස මහන්සියෙන් උපයන ධනය කොටස් 04ට බෙදන ලෙස ධර්මයේ උගන්වයි


වර්තමානයේ ශ්‍රී ලාංකික සමාජය පමණක් නොව ගෝලීය වශයෙන් මුළු මහත් ලෝකයම වෙලා ගෙන සිටින ආර්ථික අර්බුදකාරී තත්ත්වය හමුවේ පුද්ගලයෙකු වශයෙන් ස්වාධීනව නැගී සිටීම පවා ඉතා අසීරු ය.එවැනි සමයක කුටුම්භ පෝෂණය කිරීම යනු මහත් බැරෑරුම් කාර්‍යබාරයකි.ලෝකයේ සියලු දෙනාටම යම්කිසි ගැටළුකාරී අසහනකාරී තත්ත්වයකට මුහුණ දීමට සිදුවී තිබුණද අනාදිමත් කාලයක සිට බුදු දහමින් පෝෂිත හදවත් සහිත බෞද්ධ රටක ජීවත් වන ජනතාවක් ලෙස මෙම අභියෝගයට මුහුණ දීම ශ්‍රී ලාංකික ජනතාවට කළ නොහැකි කටයුත්තක් නොවේ.ප්‍රෞඩ ඉතිහාසයක් හිමි ශ්‍රී ලාංකීය ජනතාවක් ලෙස ලොව්තුරා බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළ ධර්මය අනුගමනය කිරීමෙන් කාලානුරූපව පැමිණෙන සියලුම ගැටළුවලට නිසි විසඳුම් සපයා ගත හැකි බව සක් සුදක්සේ පැහැදිලිය.

                                තථාගත ගෞතම බුදුරජාණන් වහන්සේ යනු පරලොව ජීවිතය යහපත් කොට ගැනීමට පමණක් මග පෙන්වා වදාල අයෙක් නොවේ.උන්වහන්සේ පැවිදි පුද්ගලයන්ට සේම ගිහි ජීවිතය සාර්ථක කර ගැනීමට ගිහියන්ට අවැසි උපදෙස්ද ලබා දුන් ශාස්තෘන් වහන්සේ නමකි.බුදුරදුන් සිඟාලෝවාද සූත්‍රය , මහා මංගල සූත්‍රය , ව්‍යග්ගපජ්ජ සූත්‍රය ආදී සූත්‍ර ගණනාවකින්ම ගෘහස්ථ ජීවිතය සාර්ථක කර ගැනීමට , ආර්ථික සංවර්ධනයට සේම වෙහෙස මහන්සි වී හරි හම්බ කරන ධනය වියදම් කළ යුතු ආකාරය පවා මැනවින් දේශනා කළහ. 


ඒකේන භෝගේ බුංජෙයිය - ද්වීහි කම්මං පයෝජයේ

චතුත්තංච නිදාපෙයිය - ආපදාසු භවිස්සති

               

                                 තමන් ධාර්මිකව වෙහෙස මහන්සියෙන් උපයන ධනය කොටස් 04ට බෙදන ලෙස ධර්මයේ උගන්වයි.එයින් පළමු කොටස එදිනෙදා ජීවිතයේ පරිභෝජනයටත් කොටස් දෙකක් ආර්ථික උත්පාදන සඳහා ආයෝජනයටත් හතරවන කොටස යම්කිසි විපත්තියක් , කරදරයක් , උපද්‍රවයක් ඇති වූ අවස්ථාවක දී ප්‍රයෝජනයට ගැනීමට සුරක්ෂිතව නිදන් කර තබන ලෙසත් දේශනාවල සඳහන් කර  තිබේ. වර්තමාන ක්‍රමවේදය අනුව නම් බැංකු ගත කොට ආරක්ෂා කර තබන ලෙස දේශනා කර ඇත.තමන් උත්සාහයෙන් උපයන ධනය මේ ආකාරයෙන් මනා සැලසුමක් සහිතව වියපැහැදම් කළහොත් ගිහියාට තම පවුල පෝෂණය කිරීමේ හැකියාව නිසැකවම ලැබෙනු ඇත.

                                       මෙහිදී එක් කොටසක් එදිනෙදා පරිභෝජනයට යොදා ගන්නා ලෙස දේශනා කළ බුදුරදුන් විසින් කොටස් දෙකක් ආයෝජනය කරන ලෙසටද උපදෙස් ලබාදෙන ලදි.වර්තමාන ආර්ථික තත්ත්වය තුළ එක් රැකියාවකින් යැපීමේ හැකියාවක් නොමැති තරම්ය.නමුත් බුදුන් දේශනා කරන ආකාරයට උපයන ධනය නිවැරදි ලෙස ආයෝජනය කලහොත් ඒ තුළින් තම පවුලේ දියුණුවට අමතර ආදායමක් ශක්තියක් ලබා ගැනීමට හැකියාව පවතී.එමෙන්ම උපයන ධනයෙන් කොටසක් ඉතිරි කිරීමේ වටිනාකම පවා මෙහිදී පැහැදිලි කරයි.අස්ථිර ජීවිතයේ කිනම් අවස්ථාවක උපද්‍රවයක් , කරදරයක් වේදැයි අනුමාන කිරීමේ හැකියාවක් නොමැති අප ඒ සඳහා ද යම් සූදානමකින් ක්‍රියා කිරීම වටීයි.

                                එසේම ගිහි ජීවිතයක් ගත කරන ගිහියකුට ලැබිය හැකි සැපයන් 04ක් පිළිබඳවත් බුදුරජාණන් වහන්සේ සූත්‍ර පිටකයේ අණන සූත්‍ර දේශනාව තුළින් අපට උගන්වා තිබේ.

   

* අත්ථි සුඛය

* බෝග සුඛය

* අණන සුඛය

* අනවජ්ජ සුඛය 


මෙහිදී උන්වහන්සේ " අත්ථි සුඛය " ලෙස දේශනා කර ඇත්තේ තමන් උපයන ධනය අර්ථවත්ව වියදම් කිරීම නිසා ඇතිවන සැපය පිළිබඳවයි. "බෝග සුඛය" යනු තමන් සතු නිවෙස , යාන වාහන , රැකියාවක් , අඹුදරුවන් ආදිය වැරදි ක්‍රියාවකින් තොරව උපයා ගත් දේවල් නිසා ඇතිවන සතුට යි. "අණන සුඛය" යනු ණය නොවීම නිසා සිතේ ඇතිවන සතුටයි. "අනවජ්ජ සුඛය" යනු නිවැරදි දිවි පෙවෙතක් ගත කිරීම නිසා ඇති වන සතුටයි.

                                    ධනය උපයන , වියදම් කරන ආකාරය දේශනා කළද බුදු දහම කිසිවිටෙකත් අධාර්මික ජීවිතයක් අනුමත නොකරයි.නානාප්‍රකාර ගැටළු සහිත සංකීර්ණ සමාජ ක්‍රමයක ජීවත්ව සිටින ගිහි පැවිදි සමාජ යාන්ත්‍රණය තුළ විවිධ කරුණු විද්‍යමාන වේ. එනිසා සමාජ සම්මත වැරදිවලින් වැලකී ධර්මානුකූලව කටයුතු කිරීම තමන්ගේ සේම තමන්ගෙන් යැපෙන පවුලටත් යහපතක් වනු ඇත.

                            එසේම උන්වහන්සේ මනුස්සයකු පිරිහීමට හේතු වන කරුණුත් පරාභව සූත්‍රයේදී දේශනා කළහ. 


ඉත්ථි දුත්තෝ සුරා දුත්තෝ - අක්ඛ දුත්තෝච යෝ නරෝ 

ලද්දං ලද්දං විනාසේතී - තං පරාභවතෝ මුඛං 


පුද්ගලයකු කෙතරම් මුදලක් ඉපයුවද  උපයන ධනය විනාශයට පත් වන,  පිරිහීමට හේතුවන කාරණා මෙහිදී උන්වහන්සේ දේශනා කරයි.යම් අයෙක් ස්ත්‍රීන් කෙරෙහි , සුරාව සූදුව කෙරෙහි ලොල්වේ ද ඔහු ආර්ථික වශයෙන් මෙන්ම ශාරීරික වශයෙනුත් පිරිහීමට ලක් වේ.උදෑසන සිට වෙහෙස මහන්සියෙන් උපයන ධනය සියල්ල සවස් යාමයේදී තැබෑරුමට , සූදුවට වියදම් කරනවා නම් එවන් අයකු සිටින පවුලක් දියුණුවට පත් වේවිද?මුළු මහත් පවුලේම සෞඛ්‍ය , අඹුදරුවන්ගේ ආරක්ෂාව, අධ්‍යාපනය සියල්ල කඩාකප්පල් වීමට මෙය හේතුවක් වේ.

                              ලෝක ධර්මතාවය අනුව කලින් කලට ගැටළු , අභියෝග , කරදර පැමිණීම සාමාන්‍යය දෙයකි. රටක් ලෙස අපට මීට පෙර තිස් අවුරුදු යුද්ධයකට , සුනාමි ආදී දැවැන්ත ස්වභාවික විපත් රැසකට මෙන්ම කොවිඩ් වසංගත තත්ත්වයකට මුහුණ දීමට සිදුවිය.අනාගතයක් පිළිබඳ සිතීමටවත් නොහැකි එවන් කාලවලදී පවා සියල්ල දරාගෙන මිනිසුන් තමන්ගේ දරුපවුල්වල හෙට දවස වෙනුවෙන් කටයුතු කළහ. ඉතින් මේ අපහසු ආර්ථික ගැටළු හමුවේ වුවත් තමන්ගේ ජීවිතය යම් අරමුණකට අනුව ගොඩනගා ගතහොත් මෙයට මුහුණ දීමේ හැකියාව තිබේ.මේ බොහෝ ගැටළු නිර්මාණය වී තිබෙන්නේ ආර්ථික සුරක්ෂිතභාවයක් නොමැති වීම , සැලසුමකට අනුව ධනය පරිභෝජනය නොකිරීම , පුහු ආටෝප , උනුන් පරයා නැගී සිටීමට දරණ උත්සාහය ආදී කරුණු නිසාය.එම නිසා සැවොම ධර්මානුකූලව කටයුතු කරමින් නිවැරදි වෙළඳාම , ගොවිතැන , ව්‍යාපාරික කටයුතු ආදිය සාර්ථක කොට ගනිමින් පිරිහීමට හේතුවන කාරණාවලින් දුරස් වීමට කටයුතු කිරීම වැදගත් ය.බුදුන් වහන්සේලා දේශණා කරන මාර්ගයේ නිවැරදිව ගමන් කලහොත් අභියෝගයන් මධ්‍යයේ වුවත් දරුපවුල් පෝෂණය කොටගෙන සමාජය තුළ නැගී සිටීමේ හැකියාව නියත ලෙසම පවති.එමනිසා මනා සිහියෙන් යුතුව සැලසුමකට අනුව ධර්මානුකූලව තම සිතට එකඟව වැඩ කටයුතු කලහොත් වර්තමාන අභියෝගය ජයග්‍රහණය කිරීමේ හැකියාව නිසැක වශයෙන්ම හිමිවනු ඇත.


තොරතුරු :- 


අරණ්තලාව ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානාධිපති 

උතුරු නැගෙනහිර දෙපලාතේ අධිකරණ සංඝනායක 

නියෝජ්‍ය අධ්‍යාපන අධ්‍යක්ෂක පිරිවෙන්

ශාස්ත්‍රපති කිරිඳිවැල සෝමරතන හිමි 


කතාව :-  මධූ ජයසිරි

මෙම ලිපියේ කතෘ අයිතිය e-Ceylon.lk සතු වන අතර මෙහි සදහන් සියලු තොරතුරු කතානායක පුද්ගලයාගේ අනුදැනුම මත හා සත්‍ය තොරතුරු මත පදනම්ව නිර්මාණය කරන ලද්දකි. මෙම ලිපි කිසිදු අයුරකින් උපුටා ගැනීම හෝ වෙනත් නමකින් පලකිරීම සපුරා තහනම් වේ.

දිගටම අපගේ ලිපි කියවීමට හා අලුත්ම ලිපි පිලිබද තොරතුරු එසැනින් ලබා ගැනීමට අපිව Follow කරන්න, Like කරන්න, Share කරන්න, Subscribe කරන්න.

Facebook: https://www.facebook.com/eceylonmagazine

Twitter: https://twitter.com/eceylonlk

YouTube: https://www.youtube.com/channel/UCN6IdFvZo7iXywHzbfAwSVg

Follow Our Website: https://www.e-ceylon.lk/

ඔබටත් මෙවැනි ලිපියක් පලකරගැනීමට අවශ්‍ය නම් අමතන්න - 0774552060






Post a Comment

Previous Post Next Post

POST ADS1

POST ADS 2