ප්‍රභූ පන්තියට පෑගෙන පොඩි පන්තිය

 


දේශපාලකයන් යනු අපි විසින්ම ප්‍රජාතන්ත්‍රවාදී  ඡන්ද අයිතිය පාවිච්චි කරමින් අපේ බහුතර මතයෙන් අපි වෙනුවෙන් පත් කරන රට කරවන අයයි. පට්ටම් ලැබුනු පසු ඒ බවලත්තු බලවත්තු වෙමින් චන්දය දුන් පීඩිත පන්තියේ අපිටම බැට දීම අද වනවිට සාමාන්‍ය වී තිබේ. මෙය අද උදෑසන 02-02-2023 මහනුවර නගරයේ සිදු වූවකි. අද මුලු නුවරම උඩු යටිකුරුව තිබිණි. නගරය පුරා කිසිදු වාහනයක් නැවැත්වීමට තහනම් කර තිබුනු අතර හදිසි බඩුවක් ගැනීමට හෝ රිය නැවැත්වීමට තරමේ තැනක් නැත. සියල්ල තහනම්ය.
හේතුව වූයේ බලවත් උත්තමයකුගේ උඩරට ආගමනයයි. රට කරවන උන්දැලා එන එන වෙලාවට මෙහෙම පාරවල් වහනකොට, අපිට යන එන මං නැති වීම් කිසිවකුගේ අවදානයට පත් නොවීම ඇත්තටම කනගාටුවට කරුණකි. මේ වන විට සියලුම දෙනා ජීවත් වන්නෙ එදිනෙදා ලැබෙන දෙයින් උපරිම දේ ලබා ගනිමින් දවසින් උපරිම ප්‍රයෝජනයක් ගැනීමටය. කාලය යනු සැමට රන් හා සමානය. කාලය කා දමන බලවතුන්ට නම් එය දැනෙනු නැත. තමන්ගෙ දරුවන්ට පොත් ටික අරන් දෙන්න, හාල් ටික ගන්න වගේම නුවර වැනි ජනාකීර්ණ නගරයකට පුදගලයකු එන්නෙ විවිධ වැදගත් හේතූන්මතය. එවැනි දිනක කඩ සාප්පු පිරී ඉතිරී යන වෙලාවක වාහනය නවතා බඩුවක් මූට්ටුවක් ගැනීමට අද ගව්වක දුර යා යුතුය. ගියත් හරියට වාහනය පාක් කර ගැනීමට තැනක් නැත.
මෙය අද පමණක් නොව බොහෝ විට සිදු වන්නකි. VIP, VVIP වාහන පෝලිමක යන විට පාර අයිනේ ඉන්න අපිට කානුවට බහින්න සිදුවිය. කාලය වෙනස් වෙමින් එම තත්ත්වයට අපේම කොල්ලො කෙල්ලො නැගී සිටි අවස්ථාවල ලොකු ලොක්කන් අඩු හකුලා ගනු දැක ගැනීමට හැකි විය. අසාධාරණය යනු අපේ මුදල් හොරා කෑම, දේපල අවභාවිතය හෝ වීම පමණක්ම නොවේ. මෙලෙස සාමාන්‍ය ජනතාවගේ වටිනා කාලය කා දැමීම වරදක් වීමත් ඒ පිලිබදව කිසිවකුගේ කිසිදු අවධානයක් යොමු නොවීමත්‍ අසාධාරණයකි.
දවසට කීයක් හරි හොයාගන්න කට්ටක් කන වෙළෙඳ ජනතාව අද අසරණ වී සිටි ආකාරය කෙතරම්ද යත් එක් අයකු පැවසූවේ  "අනේ මහත්තයෝ බලන්නකො අද ඉතින් කීයක් හරි හොයාගෙන ඉවරයි. වාහන පාකින් නෑනෙ. එන වාහනත් කෙලින්ම යනවා. වඩයක් කන්නවත් නවත්තන්න බෑ" යනුවෙනි.
අපි පත්කරන ලොක්කන්ගේ  කාලය වටිනවා විය හැක්කේ උදේ හවස අපි වෙනුවෙන් මහන්සි වීම ඔවුන්ගේ එකම බලාපොරොත්තුව වන නිසා යැයි සිතිය හැකිය. එසේ නම් අද ලංකාව සංවර්ධනය වෙමින් පැවැති තැනින් බංකොලොත් වූයේ කෙසෙද යන්න සිතා බැලිය යුතුය. මාර්ග තද බදය පොඩි අපිට බලපාන්නෙ නැද්ද? මේවා අපි හදපු දේවල්ද? නැත එදා සිට අද දක්වාම පාලනය කරපු ලොක්කන් නිවැරදිව නගර සැලසුම් කර තිබුනේ නම් මෙලෙස දවසින් දවස නගර සැලසුම් වෙනස් කිරීමට අවශ්‍ය වන්නෙ නැත. වෙනස් කළද මිනිසුන් මෙලෙස අපහසුතාවන්ට පත්වන ලෙස මේවා ක්‍රියාත්මකකිරීම බලධාරීන්ගේ අවධානයට ලක් විය යුතුය. එසේ වූවා නම් එදා වේල හම්බකරන මනුස්සයාට බඩේ පාර වදින්නෙද නැත. අපේ කාලය නාස්ති වන්නෙද නැත. මේවා කවදා හැදෙයිද කියලා හිතන්නවත් බැරිය.
වෙළෙඳසල්වල බඩු ලොරි සීසීකඩය. බඩු ටික බාගන්න මනුස්සයට වෙනදට එක බඩුවක් උස්සලා ගිහින් දාන මහන්සිය වගේ දෙගුණයක් මහන්සි වැඩිය. දුර පළාත්වලින් පැමිණි සියලු රථ වාහන විශේෂයෙන් බඩු ලොරි නැවැත්විය හැකි ස්තානයක් පේන මානයක හොයාගන්නට නැත. ඒ සදහා කිසිදු වැඩපිළිවෙළක් නැත. නගර සභාව හෝ ඒ සඳහා බලයලත් වගකිවයුතු නිලධාරීන් මේ පිලිබද සැලකිලිමත් විය යුතු නොවන්නේද? එක මනුස්සෙක්ගෙ හිත සුව පිණිස මහජන බදු මුදලින් වැජඹෙන කෙනෙක් වෙන්වෙන් ලොක්කන්නේ අමනෝඥකමක් හේතුවෙන් ඔවුන්ගේ සුව පහසුව උදෙසා මෙලෙස මිනිසුන්ගේ වැඩ රාජකාරි අතපසු කිරීම නිවැරදිද? එක දවසකට එක නගරය බැගින් මෙලෙස සතියකට නගර හතක මිනිසුන් අපහසුතාවයට පත්වූවොත් පාඩුව කෙතරම්ද? ඒ තුලින් රටට අඩු වන්නෙ මුදල් නොවේද? අඩියක් අඩියක් ගානෙ ත්‍රිවිධ හමුදාව හා පොලිස් මහත්වරු 100ක් 200ක් විශේෂ ආරක්ෂාව මත යොදවා තිබේ. රටේ ජනාධිපති කෙනෙක්ට මේ තරම් ආරක්ෂාවක් දිය යුතුද? අපෙන් පත් වුනු අපේ නායකයාගෙ ජීවිතයට ඒ තරම් තර්ජනයක් ඇති වීමට බිය වන්නේ ඇයිද යන්න ගැටලුවකි. රටේ ජනාධිපති පුරවැසියන්ට මේ තරම් බිය වියයුතුද? චන්දෙ කාලෙට අත් ඉබින, බදාගන්න, ළමයි වඩාගන්න වැඩකරන ජනතාවගේ නායකයෝ කලු කරපු වාහනවල සවාරි ගහන්නේ කන්නට බත් කටක් වෙනුවෙන් හූල්ලන මිනිහගේ සල්ලි වලිනි.. රාජය සේවයේ වැටුප් අඩු කිරීමට චක්‍රලේඛ ගැසට් වැසි වස්සන නායකයන්ට ඒවට අත් ඔසවන ලොක්කන්ට බදු පිට බදු ගහන නායකයන්ට මේවා පේන්නෙ නැති එකම දුකකි.  
නිදහස් උත්සවය තියන්න බැරි වුනොත් ජාත්‍යන්තරය හිනා වෙයි කියපු ජනාධිපති ප්‍රමුඛ වටින කියන දේශපාලන ලොක්කො  මෙහෙම දර්ශන දාලා පාරවල් වහලා මිනිස්සුන්ට යන එන මං නැති කරලා කාලෙ කනකොට තියෙන ආර්ථිකය නැගිට්ටවන්න පුලුවන්ද? එතකොට ජාත්‍යන්තරේ හිනා වෙන්නෙ නැද්ද?
 
 ✍තෙරුණි ද සිල්වා

මෙම ලිපියේ කතෘ අයිතිය e-Ceylon.lk සතු වන අතර මෙහි සදහන් සියලු තොරතුරු කතානායක පුද්ගලයාගේ අනුදැනුම මත හා සත්‍ය තොරතුරු මත පදනම්ව නිර්මාණය කරන ලද්දකි. මෙම ලිපි කිසිදු අයුරකින් උපුටා ගැනීම හෝ වෙනත් නමකින් පලකිරීම සපුරා තහනම් වේ.

දිගටම අපගේ ලිපි කියවීමට හා අලුත්ම ලිපි පිලිබද තොරතුරු එසැනින් ලබා ගැනීමට අපිව Follow කරන්න, Like කරන්න, Share කරන්න, Subscribe කරන්න.

Facebook: https://www.facebook.com/eceylonmagazine

Twitter: https://twitter.com/eceylonlk

YouTube: https://www.youtube.com/channel/UCN6IdFvZo7iXywHzbfAwSVg

Follow Our Website: https://www.e-ceylon.lk/

ඔබටත් මෙවැනි ලිපියක් පලකරගැනීමට අවශ්‍ය නම් අමතන්න - 0774552060

Post a Comment

Previous Post Next Post

POST ADS1

POST ADS 2