පුංචි එවුන්ගේ අරගලය


මල් එක්ක සැරිසරන්න පුළුවන් මල්වලට ආදරේ කරන්න ඉගෙන ගෙන ඉන්න කෙනෙක්ට. ගුරුවරු කියන්නෙම මල් එක්ක ගනුදෙනු කරන මල් නොතලා අනාගතය හදන පිරිසක්. ඒ අතර 2021  ආසියාවේ හොඳම ගුරුවරයා ලෙස සම්මානයට පාත්‍ර වනුයේ ඔහු. අසිත් මුතුකුමාර ජයරත්න. දැනට කුරුණෑගල ආරක්ෂක සේවා විද්‍යාලයේ නාට්‍ය හා රංග කලා විෂය ගුරුතුමා. පුංචි පැටවුන් වෙනුවෙන් අලුත් වැඩකට අත්පොත් තියලා. ඒ ගැන අපි අද කතා කරමු.

මෙතෙක් දක්නට නොලැබුණු වැඩක් පිළිබඳව කතා කරන්නේ. ඒ ගැන හැඳින්වීමක් කරන්න පුළුවන්ද ඔබතුමාට?

'Children Mini Cinema Film Festival' නමින් තමයි නම් කරලා තියෙන්නේ. ළමයින් සමග එක්ව කරන කෙටි චිත්‍රපට උළෙලක් ලෙස මේ වැඩසටහන හඳුන්වන්න පුළුවන්. මෙය ඉදිරිපත් කරන්නේ The Acadamy Of performing Arts (TAOPA)  එකෙන් තමයි කරන්නේ. ග්‍රාමීය පාසල්වල ඉන්න ළමයින් පිරිසක් සමග එකතුවෙලා අපි මේ සිනමාපට නිර්මාණය කරලා තියෙන්නේ. මාර්තු 5 සහ 6 දිනයන්හිදී තමයි අපි මෙම සිනමාපට ප්‍රදර්ශනයට සූදානම් කරලා තිබෙන්නේ. එහිදි කෙටි චිත්‍රපට 5ක් තිරගත වීමට නියමිතයි. ඊට අමතරව නව චිත්‍රපට 2ක් එදින එළිදැක්වීමට නියමිතයි.



මෙහි තිරගතවන කෙටි චිත්‍රපට ගැන හැඳින්වීමක් කරන්න පුළුවන්ද?

මෙහි එක් චිත්‍රපටයක් තමයි 2019 වසරේ අන්තර්ජාතික සම්මාන රාශියකින් පිදුම් ලැබූ 'වියළි' 'The Dry' කෙටි චිත්‍රපටය. එය ඉන්දියාවේ Global  India International Film Awards Festival හි හොදම කෙටි චිත්‍රපටයට හිමි සම්මානය හිමිකරගත්තා. ඊට අමතරව Osho Film Maker සම්මානය Indrapuram  Film Festival, Ceylon International Film Festival, A&A International Film Festival වැනි අන්තර්ජාතික මට්ටමේ සිනමා ඇගයුම්වලට හිමිකම් කියනවා. එමෙන්ම ශ්‍රී ලංකාවේ ජාතික කලා මහෝත්සවයේ හොඳම කෙටි චිත්‍රපටයට හිමි සම්මානය ලෙස 'වියළි' චිත්‍රපටය සම්මානයට පාත්‍රවෙනවා.

දෙවැනි චිත්‍රපටය 'Foot Step' නමින් කළ කෙටි චිත්‍රපටය. මෙය ගැන විශේෂයෙන් කියන්න ඕනෙ. අපි මෙම චිත්‍රපටය නිර්මාණය කළේ මහරගම පිළිකා රෝහලේ දරුවන්ට අනුග්‍රහයක් ලබාදීම උදෙසා. එහි කතා වස්තුව වෙන්නෙත් ඒකමයි.  අනෙක් චිත්‍රපටය 'අග්නි'. වයඹ පළාතේ හොඳම කෙටි චිත්‍රපටය ලෙස ඇගයුම් ලබන එම චිත්‍රපටයේ කතා තේමාව වන්නේ මත්ද්‍රව්‍ය නිවාරණය.

ඊට අමතරව මෑතකදී අපි විසින් නිර්මාණය කරනු ලැබූ 'පානාතිපාතා',  'The BLACK' යන කෙටි චිත්‍රපට.



මේ සියලු කතා තේමාවන් ගොනු වෙන්නේ ළමයින්ගේ ප්‍රස්තුතයන්ද?

ඇත්තෙන්ම ඔව්. මේ හැම කතාවක් ඇතුළෙන්ම  අපි කතා කරන්නේ සහ කතා කරන්න උත්සාහ කරන්නේ දරුවන්ට තිබෙන ප්‍රශ්න පිළිබඳව. එය අධ්‍යාපනය ලබන දරුවන්ට හෝ වේවා එසේ නැත්නම් නිවෙසේදී හෝ සමාජයේදී වේවා ඕනෙම තැනකදි දරුවන්ට විඳින්න සිදුවන මානසික හෝ කායික, ලිංගික අසාධාරණකම්, අඩන්තේට්ටම්, අයිතිවාසිකම් උල්ලංඝය වීම්, අදහස් ප්‍රකාශ කිරීම්වල අයිතිය නැතිවීම්, අතවරයන්ට ලක් වීම්, අපයෝජනයන්, අපි මේ නිර්මාණ මගින් කතා කරන්න උත්සාහ කරනවා.



මෙය ආරම්භයක් විතරයි කියලා ඔබ කීවා. මේ වැඩසටහනේ ඉදිරි සැලසුම් ගැන කෙටියෙන් කීවොත්?

ඔව්. අපි මෙය එක තැනකදි නතර කරන්න බලාපොරොත්තු වෙන්නේ නෑ. මසකට එක් චිත්‍රපටයක් හෝ නිර්මාණය කරන්න අපි උත්සාහ කරමින් යනවා. ඒ එකතුවන හැම චිත්‍රපටයක්ම මේ වගේම රට පුරා ප්‍රදර්ශනය කරන්න අපි බලාපොරොත්තු වෙනවා. මේ වැඩපිළිවෙ දැනට ඒ අයුරින් ක්‍රියාත්මක කරන්න අපි බලාපොරොත්තු වෙනවා.



මෙහෙම දෙයක් කරන්න බලපෑ ප්‍රධානම හේතු ගැන කතා කළොත්?

මම ගුරුවරයෙක් ලෙස සේවය කරනකොට ඒ කාලයේදී මම දැක්කා ළමයි බොහෝ වෙලාවට ඉන්නේ ප්‍රශ්න එක්ක. එය විවිධ සමාජයීය සන්සිද්ධීන් හා සම්බන්ධ වෙනවා. එකක් දෙකක් කියන්න මට බෑ. විවිධ හේතූන් නිසා ළමයින් අපහසුතාවට පත්වෙලා ඉන්නවා. ඒ ගැන කතා කරන්න කෙනෙක් නෑ. ක්‍රමයක් නෑ. සමහර ළමයින්ට අවශ්‍ය වෙන්නේ ඇහුම්කන්දීමක් විතරක් වෙන්න පුළුවන්. සමහර ළමයින්ට අවශ්‍ය වෙන්නේ ආදරය, රැකවරණය. සමහර දරුවන්ට ආර්ථික අපහසුතා. එකි මෙකී නොකී හැම ප්‍රශ්නයක් ගැනම කතා කරන්න අවස්ථාවක් ළමයින්ට නෑ. ඒ වෙනුවෙන් ළමයින්ට වේදිකාවක් අවශ්‍යයි කියලා මට හැඟුණා. ඒ වෙනුවෙන් තමයි මම මේ වගේ වැඩසටහනක් ආරම්භ කරන්න හිතුවේ.

අනෙක් දේ ළමයි ඉන්නවා එයාලගේ දක්ෂතා එළියට ගන්න කෙනෙක් නෑ. පෙන්නන්න ක්‍රමයක් නෑ. සැඟවුණු දක්ෂතා තියෙන හැමෝම වෙනුවෙන් තමයි මම මේ තෝතැන්න නිර්මාණය කරන්න හිතුවේ. ඒ වගේම ඒ දේවල් සමාජයට නිරාවරණය කරන්න බලපාන මූලිකම ගැටලුව වන්නේ මූල්‍යමය තත්ත්වය. අපි මූල්‍යමය පහසුකම් හොයාගන්නේ කොහොමද කියලා ලොකු ගැටලුවකට මුහුණ දෙනවා. මේකෙන් අපි බලාපොරොත්තු වෙනවා ඒ තත්ත්වය අවම කරගන්න. ඊට පිළියමක් හොයාගන්න. මූල්‍යමය හේතුව නිසා ගුණාත්මක භාවය අඩාලවීම වළක්වා ගනිමින් දෙයක් සමාජගත කරන්න උත්සාහ කළා මෙතෙක්. ඉදිරියේදී එම තත්ත්වය තවදුරටත් අවම කර ගැනීමට මූල්‍ය පහසුකම් සොයා ගැනීමත් මෙහි ප්‍රධානම පරමාර්ථයක් කීවොත් නිවැරැදියි.



ළමා මානසිකත්වය ගැන කතා කරන එක ලේසි නෑ. ඒ වගේ සියුම් තැනක් අරගෙන මේ තරම් බරපතළ කාරණාවන් ගොඩනගන්නේ කොහොමද කියලා කෙනෙක් ඇහුවොත්?

මෙය ඇත්තටම සමීක්ෂණයක් සමග යා යුතු දෙයක්. මනෝවිද්‍යාව සහ ළමයින්ගේ මනස පිළිබඅපි කතාකරනවානේ. එතකොට ඒ දේවල් හරියට කතා නොකළොත් එය ලොකු ප්‍රශ්නයක් වෙනවා. සමාජය විසින් එය වැරැදි ලෙස ග්‍රහණය කර ගැනීමක් වෙන්න පුළුවන්. ඒ නිසා අපි වැඩ කරද්දි අපි හිතුවා උපදේශනය සම්බන්ධ උපදේශකවරු සහ ළමා මනෝවිද්‍යාව පිළිබහදාරා ඇති විශේඥවරුන් කිහිපදෙනකු සම්බන්ධ කරගැනීම සුදුසුයි කියලා. දැනට මම එවැනි කිහිප දෙනකු හා සම්බන්ධවෙලා එයාලගේ අදහස් අරගෙන සහ මම ගුරුවරයකු ලෙසෙ මෙතෙක් විඳි සහ අවබෝධ කරගත් අත්දැකීම්  එකතු කරගනිමින් තමයි මේ වැඩේ වෙන්නේ.

ඒ වගේම මට අවශ්‍ය වුණා දරුවන්ගේ ප්‍රශ්න කතා කරනවා වගේම ඇත්තටම අපි දකිනවනේ නගරයේ සහ කොළඹ ව‌ගේ තදාසන්න ප්‍රදේශවල සිනමාපට තිරගත වෙනවා. එය නගරයට විතරක් සීමාවෙලා. ගමේ දරුවන්ට ඒ අවස්ථාව බොහෝම අඩුයි. ඒ අත්දැකීම විඳින්න ලැබෙන්නේ නෑ. ඒවාට සම්බන්ධ වෙන්නේ නෑ. මේ වැඩේ එක්ක අපිට ඒ ආකාරයෙන්ම? ළමයින්ට ඒ අත්දැකීම් ලබාදෙන්න පුළුවන්. ඒ තරම් මුදල් වියදම් කරන්න බැරිවෙයි. ඒත් ඒ අත්දැකීම සුළුවට හරි ළමයින්ට ලබා දෙන්න මම බලාපොරොත්තු වෙනවා.

ක්ෂේත්‍රයේ ප්‍රවීණයන් හා ජේෂ්ඨයන් එක්ක එකතුවෙලා ඡායාරූපයක් ගන්න. විනෝද වෙන්න. එයාලගේ අදහස් බෙදාගන්න. මුහුරත් උළෙලක් ලෙස මංගල දර්ශනයක් ලෙස එයාලට එ් අත්දැකීම දෙන්න මම මම බලාපොරොත්තු වෙනවා.



පැවැත්වෙන ස්ථානය ගැනත් අපි දැනුවත් කරමු?  

මාර්තු 5 කුරුණෑගල කනෝටුව කනිටු විද්‍යාලයේ ප්‍රධාන ශාලාවේදී සහ  මාර්තු 6 කුරුණෑගල මහ නගර සභා ශාලාවේදී පැවැත්වීමට නියමිතයි. එය නැරඹීමට ඔබ සැමට මම ආරාධනා කරනවා.


ප්‍රවේශ පත්‍ර කොහොමද ගන්නෙ?

එදිනට ප්‍රවේශපත්‍ර ලබාගන්න පුළුවන් සහභාගි වන අයට.  සාමාන්‍ය මහජනතාවට රුපියල් 100ක් වගේ මුදලකටත් ඒ අතරතුර ස්ව කැමැත්තෙන් මෙම දරුවන්ගේ වැඩසටහන වෙනුවෙන් අනුග්‍රහය දක්වන්න කැමති නම්  ඒ අය වෙනුවෙන් රුපියල් 5000කට හෝ 10,000ක් වගේ මුදලකට ප්‍රවේශපත් ලබා දෙන්න අපි කටයුතු සූදානම් කරලා තිබෙනවා.  එසේත් නොවේ නම් කෙනෙක් කැමති නම් ඉදිරියේ අපි නිර්මාණය කරන කෙටි චිත්‍රපට වෙනුවෙන් මුදල් වියදම් කරන්න, නිෂ්පාදකයෙක් ලෙස කටයුතු කරන්න අපි ඒ අවස්ථාව ලබා දෙනවා. එතනදි විශේෂයෙන් කියන්න ඕනෙ මේ චිත්‍රපට අපි අන්තර්ජාතික සිනමා උළෙල වෙනුවෙන් ඉදිරිපත් කරනවා. එතනදී නිෂ්පාදනය කරන කෙනාට ඒ අවස්ථාව ලැබෙනවා ඒ තරගවලදී නිෂ්පාදක ලෙස ඔහුගේ හෝ ඇයගේ නමින් ඒ තරගයේ තරගවදින්න.  ඒ වගේම තාක්ෂණය සමග එකතුවෙලා අපි උත්සාහ කරනවා ලංකාවේ සහ පිටරට ඉන්න අපේ අයට QR Code එකක් මගින් මූල්‍යමය උදව් උපකාර ලබා දිය හැකි Fund එකක් නිර්මාණය කරන්න.

විශේෂම දෙයක් කියන්න ඕනෙ, මේ වෙනකොට මෙහි ඉන්නේ මගේ ඇකඩමියේ සහ මගෙන් ඉගෙනගත් කුරුණෑගල සහ පුත්තලම පාසල්වල ළමයි. ලංකාව පුරාම ළමයින් ඉන්නවා නම් දක්ෂතාවලින් හෙඹි අපි කැමති එයාලා මේකට සම්බන්ධ කරගන්න. ඒත් කියන්න ඕනෙ ප්‍රවාහන පහසුකම් හෝ විශේෂ වරප්‍රසාද අපිට ලබාදීමක් දැනට අපිට කරන්න බෑ. ඒ සඳහා ඔබ සූදානම් නම් අපි කැමති ඔබටත් අවස්ථාව ලබා දෙන්න.



ඔබ හා සම්බන්ධ වෙන්නේ කොහොමද?

ඔබට මේ වෙබ් අඩවිය මගින් අපි අපේ සියලු නව නිර්මාණ පිළිබඳ දැනුම් දෙනවා. ඒ වගේම අපේ Facebook  මගින් අප හා සම්බන්ධ වෙන්න පුළුවන්.

YouTube: https://www.youtube.com/@theatreschoolacademy

Facebook: https://www.facebook.com/asith.muthukumara?mibextid=ZbWKwL

සාකච්ඡාව - තෙරුණි ද සිල්වා

මෙම ලිපියේ කතෘ අයිතිය e-Ceylon.lk සතු වන අතර මෙහි සදහන් සියලු තොරතුරු කතානායක පුද්ගලයාගේ අනුදැනුම මත හා සත්‍ය තොරතුරු මත පදනම්ව නිර්මාණය කරන ලද්දකි. මෙම ලිපි කිසිදු අයුරකින් උපුටා ගැනීම හෝ වෙනත් නමකින් පලකිරීම සපුරා තහනම් වේ.

දිගටම අපගේ ලිපි කියවීමට හා අලුත්ම ලිපි පිලිබද තොරතුරු එසැනින් ලබා ගැනීමට අපිව Follow කරන්න, Like කරන්න, Share කරන්න, Subscribe කරන්න.

Facebook: https://www.facebook.com/eceylonmagazine

Twitter: https://twitter.com/eceylonlk

YouTube: https://www.youtube.com/channel/UCN6IdFvZo7iXywHzbfAwSVg

Follow Our Website: https://www.e-ceylon.lk/

ඔබටත් මෙවැනි ලිපියක් පලකරගැනීමට අවශ්‍ය නම් අමතන්න - 0774552060





























Post a Comment

Previous Post Next Post

POST ADS1

POST ADS 2