මේ ක්ෂේත්‍රයට එන්න වගේම රැඳිලා ඉන්නත් අමාරුයි



තරුණියකට සිනහවක් කියන්නේ වටිනා ආභරණයක්.හදවතින්ම නැගෙන එවන් සිනහවකට එක්වන නිහතමානී ගුණය මේ ආභරණයේ අගය දෙගුණ තෙගුණ කරවනවා.ඇයත් එවන් අපූරු සිනහවක උරුමකාරියක්. නිවේදනය , ගීත රූප රචනා , වෙළඳ දැන්වීම් හරහා තම දස්කම් විදහාපාන මේ සුන්දර තරුණිය නමින් දසුනි නවෝද්‍යා.උරේෂා රවීහාරිගේ ' ඔබ කොතැනද ' නවතම මියුසික් වීඩියෝව ඔස්සේ මේ දිනවල වැඩි ප්‍රේක්ෂක අවදානයක් දිනා ගෙන සිටින ඇය බොහොම කාර්‍යබහුල අවස්ථාවක වුවත් අප සමඟ මෙසේ තම හඬ අවදි කළා. 


දසුනි ඉතින් කොහොමද?

  මේ දවස්වල නම් ටිකක් කාර්යයබහුලයි.නමුත් ගොඩක් හොදින් සතුටින් හිනා වෙලා ඉන්නවා. 

' ඔබ කොතැනද ' මියුසික් වීඩියෝව වෙනුවෙන් ලැබෙන ප්‍රතිචාර කොහොමද?

  ඇත්තටම මේක මම දායක වුණ පළවෙනි මියුසික් වීඩියෝ එක.නමුත් බලාපොරොත්තු වුනාටත් වඩා හොඳ ඉහළ ප්‍රතිචාර ලැබෙනවා.ඉතින් උරේෂා අක්කට , මියුසික් වීඩියෝ එක ඩිරෙක්ට් කරපු චාරුක දුෂ්‍යන්ත අයියට , මට රංගනයෙන් සහාය දුන්න ගයාන් අයියාට , නදීෂා අක්කාට ඇතුළු ගීතයට සම්බන්ධ වුණු සහ එය සාර්ථක කරගන්න මට උදව් උපකාර කළ සියලු දෙනාට ස්තූතිවන්ත වෙනවා. 


ඔබට මේ ක්ෂේත්‍රයට සම්බන්ධ වෙන්න අවස්ථාව ලැබෙන්නේ කොහොමද?

    මට මේ ක්ෂේත්‍රයට පිවිසෙන අවස්ථාව ලැබෙන්නේ 2021 ස්වාධීන රූපවාහිනී අවුරුදු කුමරිය හරහා.එම තරගයෙන් ප්‍රථම ස්ථානය දිනා ගැනීමත් සමඟ තමයි මේ හැම දේකටම අවස්ථාව උදා වෙන්නේ. 


නිවේදිකාවක් ලෙස ඔබට ලැබුණු විශේෂම අවස්ථාව සිහි කළොත්?

   මම නිවේදිකාවක් විදිහට කටයුතු කරන්න අරගෙන තවමත් අවුරුදු එක හමාරක වගේ හරිම පුංචි කාලයක්.නමුත් මේ වගේ පුංචි කාලයක් ඇතුළත නිවේදිකාවක් විදිහට අවුරුදු , ක්‍රීඩා , සංවත්සර , සජීවී වගේ විවිධ ඉසව් ආවරණය වන විදිහට වැඩ කටයුතු කරන්න අවස්ථාව ලැබුණා.ඒ ආවරණය කළ හැම අවස්ථාවක්ම මට විශේෂයි.ඒ අතරින් මට ලැබුණු සුවිශේෂම අවස්ථාව තමයි 2023 ඒ කියන්නේ මේ අවුරුද්දේ සුමති සම්මාන උළෙලේ නිවේදිකාවක් විදිහට මේ උළෙල මෙහෙයවන්න ලැබුණු අවස්ථාව.ඇත්තටම ඒ සියලු අවස්ථා වෙනුවෙන් නිවේදිකාවක් විදිහට මම ස්වාධීන රූපවාහිනියට ස්තූතිවන්ත වෙනවා. 


පසුගිය දිනවල ඔබ රංගන ක්ෂේත්‍රයට පිවිසි බවට දැන ගන්න ලැබුණා.ඒ ගැන සඳහන් කලොත්?

   ඔව් ඒක ඇත්ත.මම මෑතකදී රංගන ක්ෂේත්‍රයට ආවා.නමුත් ඒ ගැන මම ඒ ගැන වැඩිය නොකියා ඉන්නම්.කොහොම වුණත් ඉදිරියේ දී ප්‍රේක්ෂකයන්ට පුංචි තිරය හරහා මාව දැකගන්න අවස්ථාව ලැබේවි. 


මෙම නිර්මාණයට අමතරව තවත් නිර්මාණ වෙනුවෙන් ආරාධනා ලැබුණද?

   ඔව් ඇත්තටම මට මියුසික් වීඩියෝ , ටෙලිනාට්‍යය ගණනාවකට වගේම එක් සිනමා නිර්මාණයක් වෙනුවෙනුත් ආරාධනා ලැබුණා.ඉදිරියේදී තවත් හොඳ නිර්මාණ හරහා ප්‍රේක්ෂකයන් ඉදිරියට එන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා. 



නවකයන් බොහෝ දෙනාගෙන් දක්නට නොලැබෙන නිහතමානීගුණය ඔබ තුළ තිබෙනවා .ඒකට හේතුව කුමක්ද?

   මම මේ ක්ෂේත්‍රයට ඇවිල්ලා ලොකු කාලයක් නැති වුණත් ඒ කාලය ඇතුළතදී සෑහෙන ගමනක් ඇවිත් තියනවා.පෞද්ගලිකව මම ඒ ගැන ගොඩක් සතුටු වෙනවා.මොකද මේ පුංචි කාලය ඇතුළත මම මගේ ඉලක්කවලට සෑහෙන්න ලඟාවුණා.අද මම යම් තැනක ඉන්නවා.මේ ක්ෂේත්‍රයට එන්න තියා හිතලවත් නැති කාලේ ඉඳලා අද වෙනකන්ම මගේ තාත්තා මට කිව්ව එකම දේ තමයි වී කරලක් වගේ වෙන්න කියන එක.මොකද වී කරල පැහෙන්න පැහෙන්න පහලට නැවෙනවා.තාත්තා හැමවෙලාවෙම කියන්නේ ජීවිතේ මොනදේ ලැබුණත් නිහතමානි වෙන්න කියලා.ඉතින් මම මෙතනින් කොච්චර ඉස්සරහට ගියත් ඔස්කාර් සම්මානය ගත්තත් මම මේ අද ඉන්න දසුනින්ම තමයි. 


සුන්දර කලා ක්ෂේත්‍රය තුළ මෙතෙක් පැමිණි ගමනත් සුන්දරද?

    ඔව් කලා ක්ෂේත්‍රය කියන්නේ සුන්දර තැනක්.මේක අපිට වැඩවලට ගියාම සතුටින් හිනාවෙලා වැඩ කරන්න පුළුවන් තැනක්.ඒ වුනාට පොදුවේ ගත්තම කිසිම ක්ෂේත්‍රයක් සුන්දර නැහැ.මේ ක්ෂේත්‍රය තුළ විතරක් නෙවෙයි ඕනම ක්ෂේත්‍රයක හැල හැප්පීම් ,  බාධක , කම්කටොලු , කකුලෙන් ඇදීම් ,  කඩාවැටීම් තියනවා.ඉතින් යන පුද්ගලයෝ දැනගන්න ඕන තමන් ඉන්න ක්ෂේත්‍රය සුන්දර කරගෙන ගමනක් යන්න.මේ ක්ෂේත්‍රය තුළ මෙතෙක් මම ආව ගමනත් සුන්දර නැහැ.නමුත් සුන්දර අවස්ථාත් තියෙනවා.කොහොම වුණත් කොයිතරම් බාධක , කම්කටොළු ආවත් හිත ශක්තිමත් කරගෙන මම මගේ ගමන යනවා. 


කලා ක්ෂේත්‍රයේ රැඳී ඉන්න අමාරුයි කියන මතය ගැන ඔබේ අදහස කුමක්ද?

  ඔව් කලා ක්ෂේත්‍රයේ රැඳී ඉන්න අමාරුයි.ගොඩක් අය කියනවා මෙතනට එන්න ලේසී නමුත් රැඳෙන්න අමාරුයි කියලා.හැබැයි මම කියන්නේ  මේ ක්ෂේත්‍රයට එන්නත් අමාරුයි රැඳෙන්නත් අමාරුයි කියලා.මොකද මේ ක්ෂේත්‍රයට එන්න ආසාවෙන් අවස්ථාවක් නැතුව බලාගෙන ඉන්න අය ගොඩක් ඉන්නවා.තමන් කරන වැඩේ හරියට කරලා හොඳ නිර්මාණ තෝරාගෙන ඒ දේට දායක වෙලා හිතට එකඟව තමන් කරන දේ හරියට කරනවා නම් දිගු කාලයක් ක්ෂේත්‍රයේ රැඳී ඉන්න පුළුවන් වෙයි කියලා මම හිතනවා. 


මේ හැමදේම දරාගෙන හිනාවෙලා ඉන්න ශක්තියක් වෙන්නේ කවුද?

   ඇත්තටම මේ හැමදේකටම ලොකු ශක්තියක් වෙන්නේ මගේ අම්මයි තාත්තයි.මාත් එක්ක හැම තැනකම යන්නේ මගේ පස්සෙන් ඉන්නේ අම්මා.වැටෙන වැටෙන සැරයක් ගානේ අඬන අඬන සැරයක් ගානේ එයා මගේ ළඟ ඉන්නවා.ඒ වගේම මගේ තාත්තා තමයි මගේ සැඟවුණු ශක්තිය.ඒ වගේම මගේ හොඳම යාළුවත් මතක් කරන්න ඕන.සාමාන්‍යයෙන් මම හැමදේම පිටට පෙන්නන්න කෙනෙක් නෙවෙයි.කොහොමත් රංගන ශිල්පිනියක් ,  නිවේදිකාවක් විදිහට අපිට දුක , ප්‍රශ්න ,  වේදනාව තිබුණා කියලා ඒවා ප්‍රේක්ෂකයාට පෙන්නන්න බැහැ.ඒ නිසා මම මගේ දේවල් ශෙයා කරගන්නේ හරිම පුංචි පිරිසක් එක්ක. 



දසුනිගේ බලාපොරොත්තුව කුමන ක්ෂේත්‍රයකින් ඉදිරියට යන්නද?

   මේක ගොඩක් අය මගෙන් අහන ප්‍රශ්නයක්.ඒක මෙහෙමයි. අපේ ජීවිතේ මොන විදිහට විසදෙන්න තියෙනවද කියලා අපි දන්නේ නැහැනේ.දැනට බලාපොරොත්තුවෙන් ඉන්නේ මේ ක්ෂේත්‍ර දෙකෙන්ම ඉදිරියට යන්න.ඒ ගමනේ දී මගේ විවේකයන් නින්ද ඒකට කැප කරන්න වෙයි.ඒ කැපකිරීමට මම සුදානම්.නමුත් යම් අවස්ථාවක එක් ක්ෂේත්‍රයක් තෝරාගන්න වුණොත් ඒ කාලේ අනුව මට ඉදිරියට යන්න පුළුවන් කියලා හිතෙන ක්ෂේත්‍රය තෝරා ගන්නවා. 


මෙතෙක් පැමිණි ගමනට දිරිදුන් පිරිස මතක් කළොත්?

  මුලින්ම මතක් කරන්න ඕන හැමදේකටම මට ශක්තිය දුන්න මගේ අම්මයි තාත්තයි.ඊට අමතරව  මතක් කළ යුතු විශේෂම කෙනා තමයි මගේ සීයා.එයා දැන් ජීවතුන් අතර නැහැ.මගේ දෙවැනි තාත්තා මගේ සීයා කිව්වොත් හරි.ඒ වගේම මගේ හොඳම යාළුවා ඇතුළුව හැමදේම බෙදාගන්න සීමිත පිරිස ,  ගුරුවරුන් , වචනයකින් හරි උදව් උපකාර කළ හැමෝටම වගේම මට රිද්දපු හැමෝටමත් ස්තූති කරනවා මාව මේතරම් ශක්තිමත් කිරීම ගැන.



සාකච්ඡාව - මධූ ජයසිරි

මෙම ලිපියේ කතෘ අයිතිය e-Ceylon.lk සතු වන අතර මෙහි සදහන් සියලු තොරතුරු කතානායක පුද්ගලයාගේ අනුදැනුම මත හා සත්‍ය තොරතුරු මත පදනම්ව නිර්මාණය කරන ලද්දකි. මෙම ලිපි කිසිදු අයුරකින් උපුටා ගැනීම හෝ වෙනත් නමකින් පලකිරීම සපුරා තහනම් වේ.

දිගටම අපගේ ලිපි කියවීමට හා අලුත්ම ලිපි පිලිබද තොරතුරු එසැනින් ලබා ගැනීමට අපිව Follow කරන්න, Like කරන්න, Share කරන්න, Subscribe කරන්න.

Facebook: https://www.facebook.com/eceylonmagazine

Twitter: https://twitter.com/eceylonlk

YouTube: https://www.youtube.com/channel/UCN6IdFvZo7iXywHzbfAwSVg

Follow Our Website: https://www.e-ceylon.lk/

ඔබටත් මෙවැනි ලිපියක් පලකරගැනීමට අවශ්‍ය නම් අමතන්න - 0774552060

Post a Comment

Previous Post Next Post

POST ADS1

POST ADS 2