හැල්මේ දිවයන ජීවන මංතීරුවට මොහොතක විරාමයක්




නිල්වන් පැහැයෙන් බබලන වී කරලින් පොහොසත් කුඹුරු යායක් කියන්නේම නෙතට වගේම සිතටත් සහනයක් එක් කරන මනරම් දසුනක්.ඉර එළියට දීප්තිය විහිදමින් ගොයම්පත් අග නටන පිනිකැට මේ නිල්වන් ගොයමට එක් කරන කාන්තිය අපමණයි.රෑන් පිටින් ඇදී එන වී කුරුල්ලන් කියන්නේ මේ මනරම් දසුන රටාවන්ගෙන් සහ හඬින් අලංකාර කරන්නම සැදී පැහැදුනු පිරිසක්.අතීතයේ ඔබ අප විඳි මේ සුන්දරත්වය , පහස අපේ පුංචි පැටවුන්ට අද එක් මොහොතකට හෝ ලැබෙනවාද?

                                 පරිසර හිතකාමී කෘෂිකාර්මාන්තයක නියැලුන බොහොම සරල දිවි පෙවෙතක් ගත කළ අපි අද සිටින්නේ කොතැනකද?පාරිභෝජනය වැඩිවීමත් සමඟ කාබනික වගාවන්වලින් ඉවත්වන අපි වැඩි අස්වැන්නක් තකා රසායනික ද්‍රව්‍ය භාවිතයට නැඹුරුවනවා.මේ නිසාම පරම්පරා ගණනාවක සිට වර්තමානය දක්වාම හිතුමනාපයට ඉවක් බවක් නොමැතිව කුඹුරුපුරා ඉසෙන වසවිස කන්දරාව මෙවන් කුරුළු පවුල්වල හෙට දවස මෙලොව එළිය දැකීමටත් පෙර උදුරාගෙන හමාරයි.

                                නමුත් හරේන්ද්‍ර සේරසිංහ මහතා විසින් කොට්ටාව ප්‍රදේශයේ පවත්වා ගෙන යනු ලබන " සොබාදම් පියස " මේ තත්ත්වයෙන් සම්පූර්ණයෙන්ම වෙනස් මගක් ගන්නා ස්ථානයක්.රසායනික පොහොරට නැවතීමේ තිත තබන ඔහු අපේ මුතුන්මිත්තන්ගෙන් ලැබුණු දැනුමින් මේ බිම මනාවට සුපෝෂණය කොට තිබෙනවා.

                                 තාක්ෂණය කේන්ද්‍ර කොටගත් අති ධාවනකාරී වර්තමාන සමාජ ක්‍රමය තුළ තණකොළ ගහක්වත් හරිහැටි හඳුනා ගත නොහැකි තරමට ශාක සාක්ෂරතාවයෙන් හීන වුණ නගරයේ දරුවන්ට මේ බිම කෙම් බිමක් වනවා නොඅනුමානයි.

                                 නිතර දෙවේලේ අප දකින ශාකවලට සීමා නොවන මෙම ස්ථානයේදී අපේ රටට ආවේණික වගේම දුර්ලභ ශාක 200ට වැඩි ප්‍රමාණයක් හඳුනා ගැනීමට අවස්ථාව උදාවනවා.කොට්ටම්බා , බුළු , තිඹිරි , අගිල් , කටුඉඹුල වගේම කඩොලාන වර්ග පවා මෙම ස්ථානයේදී දැක ගැනීමේ හැකියාව පවතිනවා.මීට අමතරව ගල්සියඹලා , අරිත්ත වගේම ලංකාවේ දක්නට ලැබෙන නා විශේෂ දෙවර්ගයම මෙහි ඉතා සරුවට වැඩී තිබෙනවා.මෙවන් ශාකවලට අමතරව සරුවට වැඩුණු කරවිල , රාබු , දඹල ආදී බොහොමයක් එළවලු වර්ගයන්ද සූරියකාන්ත ආදී මල් වර්ගද මෙම භූමිය පෝෂණය කොට තිබෙන බව කිව යුතුයි.

                                  වර්තමානයේ නෙතට දුලභ දසුනක් වන මෙම ස්ථානයට ඔබේ දරුවා පය තැබිය යුතුමයි.සොබාදහමේ වටිනාකම අමතක කොට දමා ඒකාකාරී වේගයෙන් හැල්මේ දිවයන මේ ජීවන මංතීරුවෙන් සුළු මොහොතකට හෝ ඔබේ දරුවා පිටතට ගත යුතුයි.ඔහුට / ඇයට මේ සුන්දරවත්වය නෙතට හුරු කළ යුතුයි.වර්තමාන පරපුර කෙසේවෙතත් අවම වශයෙන් මතු පරම්පරාවටවත් සොබාදහමේ ඇති වටිනාකම කාන්දු කළ හැකි නම් එය නිසැකවම අප රටේ අනාගතයට සුවිසල් රුකුලක් වනු නොඅනුමානයි. 

මධූ ජයසිරි

මෙම ලිපියේ කතෘ අයිතිය e-Ceylon.lk සතු වන අතර මෙහි සදහන් සියලු තොරතුරු කතානායක පුද්ගලයාගේ අනුදැනුම මත හා සත්‍ය තොරතුරු මත පදනම්ව නිර්මාණය කරන ලද්දකි. මෙම ලිපි කිසිදු අයුරකින් උපුටා ගැනීම හෝ වෙනත් නමකින් පලකිරීම සපුරා තහනම් වේ.

දිගටම අපගේ ලිපි කියවීමට හා අලුත්ම ලිපි පිලිබද තොරතුරු එසැනින් ලබා ගැනීමට අපිව Follow කරන්න, Like කරන්න, Share කරන්න, Subscribe කරන්න.

Facebook: https://www.facebook.com/eceylonmagazine

Twitter: https://twitter.com/eceylonlk

YouTube: https://www.youtube.com/channel/UCN6IdFvZo7iXywHzbfAwSVg

Follow Our Website: https://www.e-ceylon.lk/

ඔබටත් මෙවැනි ලිපියක් පලකරගැනීමට අවශ්‍ය නම් අමතන්න - 0774552060











Post a Comment

Previous Post Next Post

POST ADS1

POST ADS 2