බෞද්ධාගමික ජනතාවගේ සිත් නිවා සනසවන ඔවුන්ගේ පූජා භූමියක් ලෙස විහාරස්ථානයට හිමිවන්නේ සුවිශේෂී ස්ථානයක්.උපතේ සිට මරණය දක්වාම විවිධ අවස්ථාවලදී සේම සිතට දුකක් කරදරයක් පැමිණෙන සෑම මොහොතකමත් බෞද්ධයා දිව යන්නේ පන්සලටයි.දාගැබ , බෝධීන්වහන්සේ ආදී අංගයන් රැසකින් සමන්විත බුද්ධාලම්බන ප්‍රීතියක් හදතුළ පුබුදුවාලන විහාරස්ථානයෙහි බුදු පිළිම ගෙයට හිමි වන්නේ ඉතාමත් වැදගත් ස්ථානයකි.
බුද්ධ චරිතයේ විවිධ අවස්ථා , බුද්ධත්වය ලබා ගැනීම උදෙසා පැමිණි දීර්ඝ සසර ගමනේ පිරූ පාරමිතා , බෞද්ධාගමික දෙවි දේවතාවුන් සහ සංකේතවලින් නිරන්තරවම මෙම බුද්ධ මන්දිර අලංකෘතවනවා.නමුත් බෞද්ධ ආගමට පමණක් සීමා නොවූ චිත්‍ර සමඟ සම්මිශ්‍රණය වී නිර්මාණය වූ චිත්‍ර අඩංගු පුරාණ රජමහා විහාරස්ථානයකුත් ලංකාව තුළ තිබෙන බව ඇතැම් විට ඔබ නොදන්නවා විය හැකියි.එය නමින් පැල්මඩුල්ල රජමහා විහාරස්ථානයයි.
සබරගමු පළාතේ අලංකාර බිම්කඩක නිමවුණ මේ පුදබිම තුළින් සිදුවන ශාසනික මෙහෙවර අතිමහත්.ඉතාමත් ප්‍රෞඩ ඉතිහාසයක් හිමි මෙහෙ ඉතිහාසය බොහෝ දුර අතීතයට දිවයනවා.1822 දී ඉංග්‍රීසීන්ගෙන් අවසර ගෙන ලංකාවේ පළමුවෙන්ම තෙරුවන් උදෙසා පෙරහැරක් නිර්මාණය වන්නේද මෙම පැල්මඩුල්ල රජමහා විහාරස්ථානයේ ය. මෙම පෙරහැර දෙවනි වන්නේ දළදා මාලිගාවේ පෙරහැරට පමණි.1828දී නුවර පෙරහැර ආරම්භ කරන අවස්ථාවේදී පැල්මඩුල්ල විහාරයේ ප්‍රධාන දායකයා වන දොළොස්වන අධිකාරම් (සබරගමුවේ අධිකාරම්) පිරිසක් සමඟ එක්ව නුවර පෙරහැර සිදුකළ බව නුවර පෙරහැර පුරාණයේ පවා සඳහන් කර තිබෙනවා.
පැල්මඩුලු විහාරය , කොටවෙහෙර සහ දාගැබ් වෙහෙර ලෙසින් අතීතයේ සිට හැඳින්වෙන මෙම විහාරයට ශ්‍රී විජයරාජසිංහ රජතුමා "දාගැබ් නින්දගම" නමින් නින්දගමක් රන් සන්නසකින් දාගැබට පූජා කොට තිබෙනවා.සබරගමුවට ආවේණික සිතුවමින් අලංකෘත මෙම පෞරාණික ටැම්පිට විහාරය අද වනවිට ලංකාවේ ඉතිරිව තිබෙන ටැම්පිට විහාර 168න් එකකි.
ගාල්ලේ මේධන්කර නාහිමියන් සහ දොළොස්වන අධිකාරම් විහාර ගෙයක් සෑදීම ආරම්භ කළත් එකල ඉංග්‍රීසින්ගෙන් එයට අවසර හිමිවී නොමැත.පසුව ඉලංගකෝන් මහ මුදලිවරයාගේ මැදිහත් වීමෙන් ඉංග්‍රීසීන්ගේ අවසරය ලැබුණද එම අවසරය ලැබෙන්නේද ඔවුන්ගේ කොන්දේසිවලට යටත්වය.ඔවුන් පවසන ආකාරයට ඔවුන්ගේ දෙවියන්ට මුල්තැන ලබා දෙනවානම් පමණක් විහාරගෙය සෑදීමට අවසර ලබා දී ඇත.
ඒ නිසාම ඔවුන්ගේ දෙවියන් ලෝකය මවන විට රැගෙන ආ ලාංඡනය , ආදම් ඒව දෙදෙනාගේ සහ පිහාටු දෙවියන් දෙදෙනෙකුගේ චිත්‍ර ආදිය ඇතුලත් කොට මෙම විහාර ගෙය තුළ චිත්‍ර නිර්මාණය කිරීමට කටයුතු කර තිබේ.විහාරයට ඇතුල්වන දොරටුවේ මකර තොරණට ඉහළින් සාමාන්‍යයෙන් දක්නට ලැබෙන මුහුණු වෙනුවට මල් මාලාවක් දෑතින් දරාගත් මරිය මව්තුමියගේ රුවක් නිර්මාණය කොට තිබෙනු දක්නට ලැබෙනවා.
එතෙකින් නොනවතින නිර්මාණකරුවන් විහාරය ඇතුලත සිවිලිමේ චිත්‍රවලටද කතෝලික ආගමට සමීප සංකේතවන ආකාසයට ඇතුලත් වන චිත්‍ර , නවග්‍රහයින් , නැකත් 27 , ලග්න 12 , විශ්ණු දෙවියන්ගේ දස අවතාර ආදී චිත්‍ර ඇතුලත් කොට තිබෙනවා.ඒ අතරට හංසපූට්ටුවට ආසන්නයේ කතෝලික ආගමිකයන්ගේ ප්‍රධාන චිත්‍රයක් ලෙස සැලකෙන තහනම් ගසේ චිත්‍රය, කාදිනල්වරුන්ගේ ඔටුන්න , මල්කලස ආදිය ඇතුලත් කොට විහාරයේ සිවිළිමට ඇතුලත් කර තිබීමත් විශේෂත්වයකි.කෙසේවෙතත් එකල පැමිණි බාධක හමුවේ වුවද නොසැලී මෙවන් විහාරස්ථානයක් ගොඩනැගීම සැබවින්ම අගය කළ යුතුයි.
සාකච්ඡාව මධූ ජයසිරි
මෙම ලිපියේ කතෘ අයිතිය e-Ceylon.lk සතු වන අතර මෙහි සදහන් සියලු තොරතුරු කතානායක පුද්ගලයාගේ
අනුදැනුම මත හා සත්‍ය තොරතුරු මත පදනම්ව නිර්මාණය කරන ලද්දකි. මෙම ලිපි කිසිදු අයුරකින්
උපුටා ගැනීම හෝ වෙනත් නමකින් පලකිරීම සපුරා තහනම් වේ.
දිගටම අපගේ ලිපි කියවීමට හා අලුත්ම ලිපි පිලිබද තොරතුරු එසැනින්
ලබා ගැනීමට අපිව Follow කරන්න, Like කරන්න, Share කරන්න, Subscribe කරන්න.
Facebook: https://www.facebook.com/eceylonmagazine
Twitter: https://twitter.com/eceylonlk
YouTube: https://www.youtube.com/channel/UCN6IdFvZo7iXywHzbfAwSVg
Follow Our Website: https://www.e-ceylon.lk/
ඔබටත් මෙවැනි ලිපියක් පලකරගැනීමට අවශ්‍ය නම් අමතන්න -
0774552060