සම්බන්ධ වෙන්න ලැබුණු පළවෙනි නිර්මාණයෙන්ම ප්‍රවීණයෝ රැසක් සමඟ වැඩ කරන්න ලැබීම වාසනාවක්

සුපර් ඩාන්සර් සීසන් 02 වේදිකාව මතින් ලංකාවට නුහුරු වෙනස්ම නර්ථනයන් රැසක් ප්‍රේක්ෂකයන් හමුවට රැගෙන ආ දක්ෂ නර්ථන තාරකාවියක් තමයි සෙලීනා කෘස්. නර්ථන වේදිකාවෙන් පුංචි තිරයට පෑයූ දක්ෂතා රැසකින් පරිපූර්ණ මේ තාරකාවිය "සිහින ගෙනෙන කුමාරියේ" ටෙලිනාට්‍ය  තුළින් දිනපතා ඔබේ ආලින්දයට ගොඩ වදිනවා.අද අප සමඟ එක් වන්නේ මේ ළමා තාරකාවයි. 

සෙලීනා ඉතින් කොහොමද?

                            ඇත්තටම හොඳින් , සතුටින් ඉන්නවා. 

මේ දවස්වල වැඩකටයුතු මොනවාද?

                              දැනට මම "සිහින ගෙනෙන කුමාරියේ" ටෙලි නාට්‍යයේ රූගත කිරීම්වලට සම්බන්ධ වෙලා කටයුතු කරනවා.ඊට අමතරව ලන්ඩන් A/L හදාරන අතරතුර  පරිගනක අංශයෙන් පාඨමාලාවකුත් හදාරනවා. 

ඔබ මේ ක්ෂේත්‍රය හා සම්බන්ධ වෙන්නේ කොහොමද?

                                 මගේ අයියා මම පොඩි කාලේ රූපවාහිනියේ හඬකැවීම් කටයුතුවලට සහ  රංගන කටයුතුවලට සම්බන්ධ වෙලා හිටියා.එයා හරහා අවුරුදු 4 දී විතර තමයි මට පලවෙනි වෙළඳ දැන්වීමට සහභාගි වීමට අවස්ථාව ලැබුණෙ. කාලයක් පුරාවට විශාල වෙළඳ දැන්වීම්  ප්‍රමාණයකට සම්බන්ධ වෙන්න මට හැකිවුණා.ඊට පස්සේ අම්මා "සුපර් ඩාන්සර් සීසන් 02" තරඟයට අයදුම්පත් යොමුකරලා තිබුණා.ඇත්තටම මම දන්නෙවත් නැහැ අම්මා ඒකට අයදුම් කළා කියලා.ඒත් ජයග්‍රහණය කරනවා කියලා ලොකු බලාපොරොත්තුවක් තිබුණේ නැහැ.කොහොමහරි මම හොඳම අට දෙනා අතරට තේරුණා.ඒ හරහා තමයි මට "සිහින ගෙනෙන කුමරියේ" ටෙලිනාට්‍ය සඳහා සම්බන්ධ වෙන්න අවස්ථාව උදා වුණේ. 

කුඩා ළමයි රැසක් එක්ක සම්බන්ධ වෙලා සිදුකරන "සිහින ගෙනෙන කුමරියේ" අත්දැකීම කොහොමද?

                                පොඩි අය ගොඩාක් ඉන්න නිසා ඇත්තටම හරිම විනෝදයි.වැඩිහිටි ශිල්පීන් වුණත් විහිලුවෙන් හිනාවෙලා හරිම විනෝදයෙන් තමයි ඉන්නේ.රූගතකිරීම් අතරතුර ඉඩක් ලැබුණ වෙලාවට අපි කට්ටිය එකතු වෙලා ටික්ටොක් කරනවා , තවත් සමහර වෙලාවට එක එක කෑම ඕඩර් කරන් කනවා.රූගතකිරීම් කියලා අපි කිසිම කෙනෙකුට සුළු පීඩනයක් හෝ කිසිම වෙලාවක දැනෙන්නේ නැහැ.ඇත්තටම හරිම සතුටින් තමයි ඒ කාලය ගත වෙන්නේ. 

මෙම චරිතය වෙනුවෙන් ඔබට ලැබෙන ප්‍රතිචාර කොහොමද?

                                ගොඩක් හොඳ ප්‍රතිචාර ලැබෙනවා.කැප් එකත් දාගෙන මාස්ක් එකත් දාගෙන කව්රුත් අඳුර ගනීවි කියලා හිතුවෙවත් නැති අවස්ථාවලත් සමහර අය මාව අඳුරගෙන ඇවිත් කතා කරනවා. 

සාමාන්‍යය ජීවිතයට ජනප්‍රියත්වයත් සමඟ ලැබුණු අත්දැකීම කොහොමද?

                                ප්‍රසිද්ධියත් සමඟ මිනිස්සුන්ගේ අවදානයට ලක් වීමත් එක්ක පෞද්ගලිකත්වය අඩු වෙන නිසා සමහර අවස්ථාවල දී නම් හිතෙනවා කලින් හිටිය ජීවිතේ හොඳයි කියලා.හැබැයි ඉතින් කොයිතරම් කැමති වුණත් හැමෝටම මෙහෙම ආදරයක් ලබන්න , ජනප්‍රිය වෙන්න ලැබෙන්නේ නැහැනේ.එහෙම හිතලා බලද්දී මේක මට ලැබුණ ලොකු වාසනාවක් , අවස්ථාවක් කියලා හිතෙනවා. 

"සිහින ගෙනෙන කුමරියේ" ටෙලිනාට්‍යට සම්බන්ධ වන ප්‍රවීණයන්ගෙන් ලැබෙන සහයෝගය කොහොමද?

                               හැමෝගෙන්ම ලොකු සහයෝගයක් ලැබෙනවා.අධ්‍යක්ෂකතුමාගේ ඉඳලා රංගන ශිල්පීන් , ශිල්පිනියන් , රූගත කිරීම්වලට සම්බන්ධ වෙන කණ්ඩාය වගේ මේ හැමෝම උදව් කරනවා.හැමදෙයක්ම හරිම ආදරෙන් කියලා දෙනවා.ප්‍රවීණයන් වුණත් ඒ හැමෝම කිසිම වෙනසක් නැතුව අපි හැමෝම එක්ක බොහොම සමීපව , සුහදව වැඩ කටයුතු කරගෙන යනවා. 

වෙනස් නර්ථනයන් ඉදිරිපත් කරපු සෙලීනා දැන් නර්ථනයට සමුදීලාද?

                                  ඇත්තටම මම සුපර් ඩාන්සර් තරඟයෙන් පස්සේ වෙනස් විදිහේ ඩාන්ස් කවර් එකක් කරන්න හිතාගෙන හිටියා.නමුත් සාමාන්‍යය පෙළ විභාගයට සූදානම් වෙන්න වුණ නිසා ඒ කටයුතු මඟ හැරුණා.පසුගිය අවුරුද්දේත් වැඩත් එක්ක ටිකක් කාර්‍යබහුල වුණා.මේ වෙද්දී උසස් පෙළ සඳහා සූදානම් වෙන අතරතුර පරිගනක පාඨමාලාවක් කරගෙන යන නිසා ඒවගේ දෙයක් කරන්න අමාරුයි.නමුත් මේ කාර්‍යබහුල තත්ත්වය ටිකක් අඩු වුණාම වෙනස්ම විදිහේ ඩාන්ස් කවර් එකක් කරන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා. 

හැම තැනකම සෙලීනාගේ සෙවනැල්ල වගේ ඉන්නේ අම්මා නේද?

                                  ඔව්.පුංචි වෙළඳ දැන්වීම් රූගත කිරීම්වලට සහභාගි වීමේ සිට අද වෙනකන්ම අම්මා තමයි මගේ ලඟින්ම ඉන්නේ.අම්මා නැතුව මමත් කොහේවත් යන්නේ නැහැ.තාත්තා පිටිපස්සෙන් ඉඳන් තමයි උදව් කරන්නේ.සුපර් ඩාන්සර් තරඟාවලියේ දී sms මනාප පැත්තෙන් හැමදේම බැලුවේ , කැම්පේන් කලේ තාත්තා.අයියලාත් ඒ වගේම උදව් කරනවා.එයාල තමයි සෝෂල් මීඩියා පැත්තෙන් මට සහයෝගය ලබා දෙන්න ගොඩක් වැඩ කලේ.අම්මාගෙන් වගේම පවුලේ හැමෝගෙන්ම මම මේ යන ගමනට විශාල සහයෝගයක් ලැබෙනවා.එයාල තමයි ඉතින් මගේ ශක්තිය. 

සම්බන්ධ වෙන පළමු ටෙලිනාට්‍ය තුළින්ම ප්‍රවීණයන් රැසක් සමඟ කටයුතු කරන්න ලැබීම ගැන මොකද හිතන්නේ?

                               මේ නාට්‍යයට සම්බන්ධ වෙන හැමෝම මිනිස්සු ආදරය කරන බොහොම දක්ෂ ප්‍රවීණ පිරිසක්.ඉතින් සම්බන්ධ වෙන්න ලැබුණු පළවෙනි නිර්මාණයෙන්ම මේවගේ ප්‍රවීණයෝ රැසක් සමඟ වැඩ කරන්න ලැබීම ගැන ගොඩක් සතුටුයි.ඒ වගේ පිරිසකගෙන් උපදෙස් ලබා ගෙන එයාලගේ රංගනයන් අධ්‍යයනය කරමින් , ඒ ඇසුර ලබන ගමන් වැඩ කරන්න ලැබීම ලොකු වාසනාවක් විදිහට තමයි මම දකින්නේ.කො‍යිතරම් දක්ෂ ප්‍රවීණ පිරිසක් වුණත් ඇත්තටම එයාල එක්ක වැඩ කරන්නත් හරිම පහසුයි. 

දිගටම කලා ක්ෂේත්‍රයේ රැඳී ඉන්න බලාපොරොත්තු වෙනවාද?

                            මම ගොඩක් කැමති ගිණුම්කරණ අංශයෙන් ඉදිරියට යන්න.නමුත් ලොකුම බලාපොරොත්තුව ඕස්ට්‍රේලියාවට යන එක තමයි.හැබැයි ඉක්මනින් යන්න අදහසකුත් නැහැ.කොහොමත් තව ටික කාලයක් මම ලංකාවේ ඉන්නවා. 

ඉදිරියේ දී සෙලීනාව ප්‍රේක්ෂකයන්ට දැකගන්න ලැබෙන තවත් අලුත් නිර්මාණ තිබෙනවාද?

                             ඔව්.මට තවත් නොහිතපු විදිහේ ගොඩාක් වටින අවස්ථාවක් ලැබුණා.උදයකාන්ත මහත්මයාගේ ළමා චිත්‍රපටයක ප්‍රධාන චරිතය විදිහට මාව තෝර ගත්තා.දැනට මේ චිත්‍රපටයේ රූගතකිරීම් අවසන් කරලා තිබෙනවා.ඉදිරියේදී ඒ නිර්මාණය හරහා ප්‍රේක්ෂකයන්ට මාව දැකගන්න අවස්ථාව ලැබෙයි. 

සාකච්ඡාව මධූ ජයසිරි

මෙම ලිපියේ කතෘ අයිතිය e-Ceylon.lk සතු වන අතර මෙහි සදහන් සියලු තොරතුරු කතානායක පුද්ගලයාගේ අනුදැනුම මත හා සත්‍ය තොරතුරු මත පදනම්ව නිර්මාණය කරන ලද්දකි. මෙම ලිපි කිසිදු අයුරකින් උපුටා ගැනීම හෝ වෙනත් නමකින් පලකිරීම සපුරා තහනම් වේ.

දිගටම අපගේ ලිපි කියවීමට හා අලුත්ම ලිපි පිලිබද තොරතුරු එසැනින් ලබා ගැනීමට අපිව Follow කරන්න, Like කරන්න, Share කරන්න, Subscribe කරන්න.

Facebook: https://www.facebook.com/eceylonmagazine

Twitter: https://twitter.com/eceylonlk

YouTube: https://www.youtube.com/channel/UCN6IdFvZo7iXywHzbfAwSVg

Follow Our Website: https://www.e-ceylon.lk/

ඔබටත් මෙවැනි ලිපියක් පලකරගැනීමට අවශ්‍ය නම් අමතන්න - 0774552060










Post a Comment

Previous Post Next Post

POST ADS1

POST ADS 2