There Is a Body හි උමතු ගැහැණිය සමග කතාබහක් - රෙබෙකා දිල්රුක්ෂි.



උමතු ගැහැනියගේ අභිරහස් කතාව 'There Is a Body'. මේ දවස්වල අතිශය ජනප්‍රිය වූ හැමෝම කතාවෙන කෙටි චිත්‍රපටයේ කතා නායිකාව. රෙබෙකා දිල්රුක්ෂි.  හැමෝම කතාවෙන ඇය සමග කතාබහට අපි එකතු වුණා.

 'There Is a Body' චිත්‍රපටයෙන්ම කතාව ආරම්භ කළොත්. ාහොමද ප්‍රතිචාර?

ප්‍රතිචාර ඉතාම ඉහළයි. දැන් මේ වෙනකොට ඔය වැඩේ අවසන් වෙලත් සති කිහිපයක් වෙනවා. ඒත් අදටත් මට දුරකතන ඇමතුම් එනවා. අධ්‍යක්ෂවරු කතා කරනවා. වැඩේ හොඳයි කියනවා. සමහර ප්‍රේක්ෂකයෝ දුරකතන අංක සොයාගෙන කතා කරලා හොඳයි කියනවා. සමහර අය ෆේස්බුක් එකෙන් කමෙන්ට් කරනවා, මැසේජස් එවනවා. ඇත්තටම හරිම සතුටුයි. ඒ තරම් පිරිසක් අතරට මේ කතාව හා මේ චරිතය සමග සමීප වෙන්න පුළුවන් වීම ගැන. මාව මෙතෙක් නොදැන හිටපු අය මාව දැනගත්තේ මේ නාට්‍යයෙන් කීවොත් හරි.

ඔබේ අතීතය හා මෙතෙක් ගමන් මගැන කීවොත්?

මගේ නම රෙබෙකා දිල්රුක්ෂි. මගේ ගම බණ්ඩාරවෙල. බණ්ඩාරවෙල මධ්‍ය මහා විද්‍යාලයේ තමයි මම අධ්‍යාපනය ලැබුවේ. උසස් අධ්‍යාපන කටයුතුවලට මම කොළඹට ආවා. කොළඹ ශ්‍රීපාලි විශ්වවිද්‍යාලයේ උපාධිය හැදෑරුවා. ඒ අතරතුර තමයි මම රංගනයට ආවේ. පාසල් කාලයේ ළමා වේදිකාවේ මම හරිම ජනප්‍රිය චරිතයක්. සමස්ලංකා ජයග්‍රහණ ලැබිලා තියෙනවා කුඩා අවධියේ සිටම. ඒ කාලේ නාට්‍ය හා රංග කලාව පිළිබතිබුණු වුවමනාව නිසාම තමයි ඇත්තම කියනවනම් මම විශ්වවිද්‍යාලයට එන්නෙ නාට්‍ය හා රංග කලාව හදාරන්න.

මම බණ්ඩාරවෙල හිටියා කියලා, කොළඹට ඇවිත් නිළියක් වෙන්න ඕනෙ කියලා හිතුවට හෝ කොළඹට ආවා කියලා මොකුත් වෙන්නේ නෑ කියලා මට හිතුණා. ඒ පාර එතරම් සු නෑ කියන මතයේ මම හිටියා. ඒ නිසාම මම නාට්‍ය හා රංග කලාව හදාරලා මිනිස්සුන්ගේ පිළිගැනීම එක්ක කලාවට සම්බන්ධ වීම සුදුසුයි කියන මතය මම විසින්ම හදාගෙන හිටියේ. කෙටි ගමනකට වැඩිය දුර ගමනක් යන්න හොඳම පාර දැනුවත් වීමකින් පසුව ක්ෂේත්‍රයට පැමිණිම කියලා මම තේරුම් ගත්තා. ඒ පාරෙ මම ගියා.


ඒ පාර හරි ගියාද? කොහොමද මුල් කාලේ ඔබේ රංගන මතක හා මේ තරම් දුර එන්න කළ කැප කිරීම් ගැන කීවොත්?

මම මිනිසුන් අතරට එන්නේ වේදිකාවෙන්. ප්‍රේක්ෂකයෝ මාව හඳුනගන්නේ වේදිකාවෙන්. එහිදී මට සම්මාන ලැබෙනවා. වේදිකාවෙන් පසුව කැමරාවක් ඉදිරියට මම යන්නේ සිනමාපටයක කුඩා චරිතයකට. එක ඩයලොග් එකක්වත් නැතුව පැත්තකට වෙලා 'Frame' එක පුරවන්න තමයි මට එහි තිබ්බේ. එදා තමයි මම මුලින්ම කැමරාවක් දැක්කේ. සහ අනේ අපිටත් මේ වගේ රඟපාන්න පුළුවන් නේද කියන දේ දැනුණා. ඒ බලාපොරොත්තුව එක්ක මම විවිධ උත්සාහ ගත්තා රංගනයට එන්න. ඔඩිෂන්වලට යනවා. ෆොටෝස් යවනවා. ඒ වගේ පොඩි පොඩි චරිත කරලා තමයි මම ප්‍රධාන චරිතවලට ආවේ.  එය හරි ලෙහෙසි ගමනක් නෙවේ. මම මහන්සි වුණා. එකම අධිෂ්ඨානයෙන් යුතුව මගේ ගමන ආවා, මම මේ දේ කරනවමයි කියලා හිතාගෙන.

"වැරැදි කරන්න හැමෝටම පුළුවන්. ඒත් වැරැද්ද පිළිගන්න හැමෝටම බැහැ. අපි ආදරේ කරන අයට කරන වැරැදි පිළිගන්නේ නැති තාක් අපි එයාලාට ණයකාරයො වෙනවා." ඒ ස්ලෝගන් එක ගැනම හිතන්න. ඔබ කරන චරිත සාමාන්‍ය නොවී වෙනස් පැත්තකට යොමු වෙනවා කියලා මම කීවොත්?

මම වැඩකට කතා කළාම මුලින්ම බලන්නේ පිටපත. පිටපත් ඇතුළෙ මට වැඩක් කරන්න පුළුවන් නම් මම එය භාරගන්නවා. සමහර වැඩවලට කතා කරනවා මට තියෙන්නේ එහි එක කොටසයි. ඒත් මම එය භාර ගන්නවා. හේතුව මම දන්නවා ඒ චරිතයේ ඒ කොටසේ මට ලොකු දෙයක් කරන්නන පුළුවන් කියනදේ. තප්පර 4ක් 5ක් වුත් ඒක මම කරනවා. හැම වෙලාවකම මම හිතන්නේ වෙනසක් කරන්න. අද වෙනසක් කරන්න. හෙට වෙනසක් කරන්න කියලා පොඩි ආශාවක් මගේ තියෙනවා. ‌ගොඩක් අය රඟපාලා ඉගෙන ගන්නේ නෑනේ. මම හරි කැමතියිඟපාලා ඉගෙන ගන්න. අත්දැකීම් ලබාගන්න. රඟපෑමෙන් ගොඩක් දේවල් ඉගෙන ගන්න තිබෙනවා.

ඒ ඔබ කියන මම තෝරාගන්නා අභූත එහෙම නැත්නම් වෙනස් චරිත එක්ක තමයි මම මිනිසුන් අතරට යන්නේ මම හිතන්නේ. 'There Is a Body' කතාවේ වුණත් මරණ කොටස ඉවත් කළාම එන අමු කෑල්ල ගත්තම ගැහැනියක් හා මිනිසෙක් පවුල් ජීවිතයක් ගත කරද්දි කාන්තාව, බිරිය නිවෙස ඇතුළෙ ගතකරන කාලය තුළ ඒ පීඩනය හරි ලස්සනට කතා කරලා තියෙනවා. එය සමාජයේ තිබෙන ප්‍රශ්නයක්. ගැහැනු හෝ වේවා පිරිමි හෝ වේවා ඒ අයට තිබෙන ස්ට්‍රෙස් එක තමයි කතාවෙ අමු කොටස.  යටිපෙ අර්ථකතනය. ඒ තරම් මිනිසුන්ට ඒක දැනුණෙත් ඒකයි.

සමාජ මාධ්‍ය ජාලාවලින් ඇතැම් අවස්ථාවල සම්පූර්ණ කතාවම නොගෙන කොටස් කොටස් ලෙස හුවා දැක්වීම තුළ සම්පූර්ණ කතාවට අසාධාරණයක් වෙනවා කියලා හිතෙන්නේ නැද්ද? මේ වනවිට ලංකාවේ මාධ්‍ය සාක්ෂරතාව තිබෙන තැන ගැන කිව්වොත්?

අපේ මුල් කාලයේ අවුරුදු 10කට පමණ පෙර තිබුණේ ටෙලිවිෂනයේ දකින දේ විතරයි. ඊට පස්සේ මේ මෑත කාලයේ වසර 5ක පමණ කාලයක සිට මාධ්‍ය සාක්ෂරතාව කියලා වචනයක්වත් පාවිච්චි කරන්න බෑ කියලා මම නම් හිතන්නේ. මොකද අවුරුදු 2ක් වගේ වෙනකොට දැන් ළමයින් දන්නවා ජංගම දුරකතනය පාවිච්චි කරන්න. යූ ටියුබ් යන්න.  සමහර විට ඔය කියන දේ නිසා නිර්මාණකරුවන්ට වාසියක් මෙන්ම අවාසියක් ඇති වෙන්න පුළුවන්. මේ දේ අපිට නතර කරන්න බෑ. අපිට තියෙන්නේ බෝලේ එන විදිහට බැට් කරන්න තමයි. තව ඉස්සරහට විවිධ විවිධ වෙනස් ලෙස ඔය දේ වෙයි.

කලාවෙන් මේ පවතින සිස්ටම් වෙනස් කරන්න පුළුවන් කියලා බහුතරයක් කියනවා සහ හිතනවා. එය කරන්න පුළුවන් වෙයි කියලා හිතනවද?

සිස්ටම් කියන්න අපේ රටේ සිස්ටම් එකක් නෑ. ලංකාවේ එහෙම දෙයක් නෑ. අපි කොයිතරම් මොනවාත් ඒවා වෙනස් වෙන්නේ නෑ. කාලෙකට කලින් කරපු ඇතැම් වේදිකා නාට්‍ය ෂෝ 2,000 පහු කරලා තිබෙනවා. රට වටේම වේදිකා නාට්‍ය යනවා. අතීත කබල කාලේ පවා වේදිකා නාට්‍ය එක්ක විවිධ තේමාවලින් විවිධ සමාජ ප්‍රශ්න කතා කළා. ඒත් වෙනසක් වෙලා තියෙනවද? එහෙම වෙනවනම් මේ වෙනකොට රට ඇතුළෙ මොනවා හරි දෙයක් වෙන්න ඕනේ. අනෙක් දේ තමයි එදා සහ අද කියලා වෙනසක් නැහැ. නිර්මාණකරුවන් ලෙස් ඇතැම් වස්තු බීජ කතා කරන්න බෑ. විවිධ පාර්ශ්වලින් ඔවුන්ට බලපෑම් එන අවස්ථා අපි දැකලා තියෙනවා වගේම අත්විඳලා තියෙනවා. ඒ නිසා ඒ ගැනත් අවධානය යොමු කරමිනුයි නිර්මාණ කරන්නෙ.


එදා සහ අද කලාව ගැන කතා කළොත්?

මම මෙහෙම කියන්නම්. මනමේ නාට්‍ය ගැන හිතන්නකෝ. අපිට ඒක බලලා අද වෙනකම් කතා කරන්න දේවල් තියෙනවා. කඩුව දුන්නද? කඩුව ගත්තද? ගැහැනු චපලද? විවිධ අර්ථකතන දෙන්න හා එ් ගැන කතා කරන්න කොයිතරම් දේවල්ද? ගුවන් විදුලි නාට්‍ය, ලංකාවෙ අතීතයේ තිබුණා අති විශිෂ් ගනයේ රූපවාහිනි නාට්‍ය. දැන් අපි නාට්‍යයක් බලලා  එහෙම කතා කරන්න, වෙන රටවලින් එපා කියන හකැවීම් කරපු නාට්‍යයක් ගැන හිතන්න. රස විඳින්න දෙයක් තියෙනවද?  සියලු නාට්‍ය ගැන විවේචනයක් නෙවේ මේ කියන්නෙ. හොඒවා තිබෙනවා. තව දෙයක් ගැන හිතන්න. ආර්ථිකය කළ බපෑම් හිතන්න. වේදිකා නාට්‍ය බලන්න යනවනම්, සිනමාපටයක් බලන්න යනවනම්  යන්න සල්ලි තියෙනවද? ගියොත් එන්න රෑ වුණොත් ගෙදර එන්නේ කොහොමද? බස් එකක් නැති වුණොත් විකල්පයකට යන්න පුළුවන්ද? රෑ කෑවොත් කල්පනා කරන්නේ හෙට කන්නේ කොහොමද කියලා. නාට්‍ය බලලා කඩෙන් කෑවොත් හෙට කන්න තියෙනවද?  මිනිස්සු ඉන්නේ ප්‍රශ්න ගොඩක. කලාවක් රස විඳින්න හරි අමාරුයි. මනුෂ්‍යයකුට කලාව රස විඳින්න කලින් මූලික අවශ්‍යතා තියෙනවා. ඒවා සපුරගන්න පුළුවන් වෙන්න ඕනෙ. අතීතේ සිටම බලන්න, දැන් වුත් පිටරටවල පවා කලාව රස විඳින්නේ ධනවත් පන්තියෙ අය. කලාව දියුණුවෙලා එන්නේ ධනපති පන්තියෙන්.

කලාකරුවන්ට කොහොමද මේ දේවල් දැනෙන්නේ?

කලාකරුවන්ට වුත් එහෙමයි. අපේ මූලික අවශ්‍යතා වෙනුවෙන් අපිට වැඩ කරන්න වෙලා තියෙනවා එදාට වැඩිය අද. ඇවටර් සිනමාපටය බලන්න හැමෝම කැමතියි. ඒත් බලන්න යන්න හැමෝටම පුළුවන් වුණාද? හේතුව මුදල් සහ කාලය. කාලය වැය කරලා චිත්‍රපටය බැලුවොත් ඒ වෙලාවේ හොයාගන්න මුදල නැතිවෙනවා. පහුවැනිදා ඒ මනුස්සයා ජීවත්වෙන්නේ කොහොමද කියන දේ එක්ක තමයි පුද්ගලයා සිනමා ශාලාවට යන්නේ. කලාකරුවන් වුත් එහෙමයි. අපි කොයිතරම් මහන්සිවෙලා නිර්මාණයක් කළත් ඒක බලන්න මිනිස්සු එන්නේ නැත්නම් අපි නිර්මාණකරුවන් කොහොමද ජීවත් වෙන්නේ.

කෙසේ වෙතත් කලාව අපිට ඕනෙ. සමාජය සමතුලිත කරන්න කලාව කරන දේ ඉතා වටිනවා. නිර්මාණ තුළින් සමාජ ප්‍රශ්න කතා කළ යුතුයි. එය සිදු වෙයි හෝ වෙනවා කියලා හිතනවද?

මම හිතනවා දැන් වෙනසක් වෙනවා කලාව ඇතුළෙත්. ගජමෑන් සිනමාපටය වසර 12ක මහන්සියේ ප්‍රතිඵලයක්. පළමු ත්‍රිමාණ සජීවීකරණ නිර්මාණය. එවැනි අත්හදාබැලීම් වටිනවා. ලොකු බාධක මැද ඒ චිත්‍රපටය ආවේ. එවැනි දේ අපට අවශ්‍යයි. අනික දැන් අලුත් අධ්‍යක්ෂවරු කිහිපදෙනෙක් ඉන්නවා එයාලා වෙනස් දේවල් කරනවා. වෙනස් ප්‍රස්තුත කතා කරනවා. මම හිතනවා එය වටිනවා කියලා. ලංකාවෙ යන්නම්වාලෙ ගිහිල්ලා දෙයක් කරන එකට වඩා වෙනස් දේවල් කරන්න නව පරපුරේ කතා බහක් තියෙනවා. ෆැන්ටසියෙන් අත්මිදිලා දැන් නිර්මාණ බිහි වෙනවා සහ මිනිස්සු ඒවා භාර ගන්නවා. රස විඳිනවා. අපිට ඕනෙ ලංකාව වෙනස් කරන්න වගේ ලොකු දේවල් නෙවේ.

සංස්කෘතික, මෙගා නාට්‍ය සම්ප්‍රදාය ගැන මොකද හිතන්නෙ. සම්බන්ධ වෙන්න අදහසක් නැද්ද?

ලංකාවෙ එක රාමුවකට වට වෙන්න රංගන ශිල්පියකුට හෝ ශිල්පිනියකට බෑ කියන දේ තමයි මගේ අදහස. වෙන රටවල නම් සිනමාවේ අය පුංචි තිරයෙ නෑ. වෙළෙදැන්වීම් කරන අය වෙනයි. වේදිකාව වෙනයි. ෆෝක් ඔපෙරා වෙනයි. ලංකාවෙ අපි එහෙම වුණොත් අපිට වෙන්නෙ ගෙදරට වෙලා නාට්‍ය හා රංග කලාව ගැන කතා කර කර ඉන්න. අපිට රඟපාන්න තියෙන, වැඩ කරන්න තියෙන ප්‍රමාණය අඩුයි.  මගේ නම් කොහොමත් එහෙම අදහසක් නෑ. හොපිටපතක් නම් මම ඒ චරිතය බාර ගන්නවා වගේම හොඳම දේ කරනවා. කොටුවෙන්න මම කැමති නෑ. මිනිස්සු බලන හොමෙගා නාට්‍ය තියෙනවා. ඒ නිසාම මට දෙයක් ලැබුණොත් ඒක හොඳින් කරනවා.



ඔයාගෙ ඉදිරියට තිබෙන නිර්මාණ මොනවද?

ටෙලිනාට්‍ය කිහිපයක් එන්න තියෙනවා. ෆිල්ම් එකකට පොඩි අදහසක් තිබෙනවා. ඒ පිළිබඳ සාකච්ඡා කරගෙන යනවා. ඊට අමතරව 'සෙකන්ඩ් ෂයි' නමින් කෙටි චිත්‍රපටයක් එන්න තියෙනවා.

ඔබ රඟපෑම තමන්ගෙ කරගෙන චරිත නිරූපයට කැපවෙනවා ඇති. ඒ වගේම අලුතෙන් එන අයටත් ඒ ගැන කියන්න දෙයක් ඇති?

මම රඟපෑම් වෙනුවෙන් මහන්සි වෙනවා ගොඩක්. නරක විදිහට මහන්සි වෙනවා. ඇගේ බර වුත් අඩු කරගන්න කීවොත් මම ඒක උපරිමයෙන් කරනවා. මහන්සි වෙනවා. මගේ 100%ක්ම මම එයට කැපවෙනවා.

රඟපාන්න ආසයි කියලා ආශාවට එන්න එපා. හැදෑරීමක් කරලා එන්න. රංගනය හදාරන්න අවස්ථා තියෙනවා. වේදිකා නාට්‍යයක් බලන්න. ඒ ගැන කතා කරන්න. රඟපෑම ගැන කිසිම දැනුමක් නැතුව එන්න එපා. සමහර අය එනව ඒ වෙලවෙ ස්ක්‍රිප්ට් එක බලන්නෙ. ඒක ඔහේ කරලා යනවා. ඒක නෙවේ රඟපානවා කියන්නෙ. ඒ නිසාම මම කියන්නෙ දවසින් ජනප්‍රිය වෙන්න බෑ. ඉගෙනගෙන එන්න. දැනුවත්වෙලා එන්න. එතකොට තමයි දිගු ගමනක් යන්න පුළුවන්. තමනුත් රැකිලා කලාවත් රකින්න පුළුවන්. නැත්නම් කාලයත් අපරාදෙ. කීර්ති නාමයත් නැතිකරගෙන යන්න වෙන අවස්ථා තියෙනවා. අනික ප්‍රවීණයන්ට ගරු කරන්න. එයාලගෙන් ඉගෙ ගන්න මහ ගොඩක් දේවල් තියෙනව. ඒ දැනුම ගන්න. ටික් ටොක් එකක් කරපු පලියට, ෆොටෝස් දෙක තුනක් ගත්ත පලියට නිළියක් වෙන්නෙ නෑ. ඒක තේරුම් ගන්න. චරිතාංග කැටගරියෙ මිනිස්සු අඩුයි. ඒ නිසා එන්න. හැබැයි හැදෑරීමකින්.

මට වැඩකරන්න ලැබුණෙම දුමිඳු දොඩම්තැන්න, නාමල් ජයසිංහ, නලින් ලුෂේනා, කෞෂල්‍යා ප්‍රනාන්දු, ප්‍රසන්න මහගමගේ, කේ.ජේ. වැනි ප්‍රවීණයන් එක්ක. නාට්‍ය තරගවලදි චාමෙල් සෙනෙවිරත්න වගේ අය දැක්කම ඒ මිනිස්සුන්ට අපි බයයි. පුදුම තරම් ආදරණීය ගෞරවයක්  ඇතිවෙනව. ප්‍රවීණ නළු නිළියන් දැක්කම සමහර අය අහනවා මේ කවුද කියලා. අපිට දුකයි ඇතැම් අවස්ථාවල. එහෙම වෙන්න එපා.

ඒ වගේම මම කියන්න ඕනෙ මේ වෙලාවේ මගේ ගමන මම ආවෙ කාගෙවත් හයියකින් නෙවේ. මගේ හෘද සාක්ෂියට එකඟව මහන්සි වෙලා. ඒක කියන්න මම බය නෑ කොයි වෙලාවකවත්. බලපෑම්, ප්‍රශ්න තිබ්බා. ඒත් මම හොඳ ගමනක් ආවා. හෙට මම ගෙදර හිටියත් මට සතුටින් ඉන්න පුළුවන්. මොකද මම අවංකව වැඩ කළා කියලා මම හිතනවා.

 

සාකච්ඡාව - තෙරුණි ද සිල්වා

Facebook: https://www.facebook.com/Rebekadilrukshi14

 මෙම ලිපියේ කතෘ අයිතිය e-Ceylon.lk සතු වන අතර මෙහි සදහන් සියලු තොරතුරු කතානායක පුද්ගලයාගේ අනුදැනුම මත හා සත්‍ය තොරතුරු මත පදනම්ව නිර්මාණය කරන ලද්දකි. මෙම ලිපි කිසිදු අයුරකින් උපුටා ගැනීම හෝ වෙනත් නමකින් පලකිරීම සපුරා තහනම් වේ.

දිගටම අපගේ ලිපි කියවීමට හා අලුත්ම ලිපි පිලිබද තොරතුරු එසැනින් ලබා ගැනීමට අපිව Follow කරන්න, Like කරන්න, Share කරන්න, Subscribe කරන්න.

Facebook: https://www.facebook.com/eceylonmagazine

Twitter: https://twitter.com/eceylonlk

YouTube: https://www.youtube.com/channel/UCN6IdFvZo7iXywHzbfAwSVg

Follow Our Website: https://www.e-ceylon.lk/

ඔබටත් මෙවැනි ලිපියක් පලකරගැනීමට අවශ්‍ය නම් අමතන්න - 0774552060

 

Post a Comment

Previous Post Next Post

POST ADS1

POST ADS 2